උඩුපිල ත්‍රිරෝද-වෑන් අනතුරින් කලාප සේවිකාවෝ 2ක් මරුට

උඩුපිල ත්‍රිරෝද-වෑන් අනතුරින් කලාප සේවිකාවෝ 2ක් මරුට

දෙල්ගොඩ-උඩුපිල ප්‍රධාන මාර්ගයේ උඩුපිල වෙල්යාය අසලදී ඊයේ (03 දා) උදෑසන 6.15 ට පමණ සිදු වූ ත්‍රීරෝද වෑන්රථ අනතුරකින් බියගම නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවෝ දෙදෙනෙක් මියගියහ.

මේ දෙදෙනා ත්‍රීරෝද රථයකින් වෑබඩ සිට උඩුපිල දක්වා ගමන් කරමින් සිටියදී මේ අනතුර සිදුව ඇති අතර එහි ගමන් ගත් එස්. ඒ. අනූෂා පි‍්‍රයදර්ශනී (21) උඩුපිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවද, ටී. ඩී. ජයන්ති මාලා (23) රාගම මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවද මියගොස් ඇත.

රථයේ ගමන් ගත් එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු රාගම රෝහලටද උඩුපිල රෝහලටද ඇතුළත් කොට තිබේ.

සිද්ධියෙන් මියගිය තරුණියෝ දෙදෙනාම වෑබඩ ප්‍ර‍්‍රදේශයේ පදිංචිකාරියෝය.

මියගිය ජයන්ති මාලාගේ මව වන එස්. ටී. ප්‍රේමවතී (45) මහත්මියගේ ප්‍රකාශයට අනුව දියණිය වෙළෙඳ කලාපයේ රැකියාවකට ගොස් මාස අටකි. ඊට පෙර ඇය වෑබඩ ප්‍රදේශයේ කර්මාන්තශාලාවක වසර පහක් සේවය කර ඇත.

ඔවුන් පදිංචි නිවස තනා ඇත්තේද ඇය උපයාගත් මුදලින් බව මව කීවාය. සොයුරු සොයුරියන් හත්දෙනෙකු වන පවුලේ ජයන්ති මාලා පස්වැන්නාය. පියා මියගොස් ඇති අතර පවුලේ සියලු බර කරට ගෙන කටයුතු කළේ තම දියණිය බව හඬා වැළපෙමින් කියා සිටියාය.

අනූෂා පි‍්‍රයදර්ශනීගේ මව වන ඩී. එම්. අශෝකා (45) මහත්මිය පැවසුවේ තම දියණිය රැකියාවට ගොස් මාස එකහමාරක් පමණ වන බවයි. කඩවත මහාමායා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇය උසස් පෙළ විභාගය සමත්ව බාහිර උපාධිය සඳහා සූදානම්ව සිටියාය. ඇයගේ 21 වැනි උපන් දිනය ඉකුත් දෙසැම්බර් 16 දා සැමරූ බව ද මව කීවාය.

යගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03 දා) දහවල් රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. සිද්ධියට සම්බන්ධ වෑන් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය සහකාර පොලිස් අධිකාරි එච්. එම්. විමලදාස මහතාගේ උපදෙස් මත මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ශ්‍රීතික ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති සිරිසේන, කොස්තාපල් (950) සිසිර යන නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා