‘දොඩම් ෆාම්’ හිස් බිම්වලින් ඉඩම් ලබා දෙන්න

‘දොඩම් ෆාම්’ හිස් බිම්වලින් ඉඩම් ලබා දෙන්න

ගංවතුරින් විපතට පත් ඉඟිනියාගල ජනතාවගෙන් ඉල්ලීම්

ඉඟිනියාගල සේනානායක ජලාශය පිටාර ගැලීම සහ වාන් දොරටු විවෘත කිරීම නිසා ඉඟිනියාගල නගරයේ සහ පහළලන්ද ප්‍රදේශයේ පවුල් 125කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් කඳවුරු ගතව සිටිති.වැසි තත්ත්වය මදක් පහව ගොස් තිබුණත් ඉඟිනියාගල ජලාශයේ වාන් දොරටු හයෙන් තුනක් තවමත් විවෘතව තිබූ අතර අඩියක් පමණ උසට වාන් දමමින් පැවතුණි.

පහළලන්ද සුබ සාධන කඳවුරේ පවුල් 71ක් සිටින අතර එහි පුද්ගල සංඛ්‍යාව 276ක් වේ. ඒ අතර අවුරුදු 12ට අඩු පිරිමි ළමයින් 36 දෙනෙක් හා ගැහැණු ළමයින් 32 ක්ද සිටිති. ඉකුත් දෙවැනි දා සිට මේ දක්වා ඔවුන් කඳවුරුගතව සිටින අතර ඔවුන් බොහෝ දෙනා පවසන්නේ අඩු පාඩුවකින් තොරව තමනට සියලු පහසුකම් ලැබෙන බවයි.

මෙහිදී අපට හමුවූ ඩී. එම්. ධනපාල මහතා මෙසේ පැවසීය.

අපි දෙවැනි දා ඉඳලා මේ කඳවුරේ ඉන්නවා. අපේ කුඹුරු ගෙවල් තවමත් වතුරෙන් යටවෙලා. අපේ ඉඩම්වලට බලපත්‍ර ඔප්පු තියෙනවා. නමුත් ඒවා පහත්බිම්. මීට කලිනුත් අවස්ථා කිහිපයකදී ජලයෙන් යට වුුණා. ජලයෙන් යටවෙන කොට ඉස්කෝලෙට එනවා. ආපසු ගෙදර යනවා. රජයෙන් වන්දියක් දෙනවා. ඒකෙන් ගෙවල් අලුත්වැඩියා කරගන්නවා. හැමදාම වෙන්නේ මේක. ඒ නිසා අපි ඉල්ලන්නේ ‘දොඩම් ෆාම්’ එකේ හිස් ඉඩම් වලින් ගෙවල් හදාගන්න අක් 1 / 4ක් දෙන්න කියලයි. එතකොට රජයට හැමදාම මෙහෙම වන්දි ගෙවන්න හෝ සහනාධාර දෙන්න මුදල් වැය කරන්න ඕන නැහැ.

ඊ. ඇම්. බණ්ඩාර මැණිකේ - අපේ පවුලේ පස් දෙනෙක් කඳවුරේ ඉන්නවා. සියලු පහසුකම් තියෙනවා. දවසට තුන් පාරක් කිරි තේ දෙනවා. දවසේ තුන් වේලම උයල කෑම දෙනවා. කුඩා දරුවන් ඉන්න අයට කිරි පිටි බෙඩ් සීට් දුන්නා. ලොකු අයට පැදුරු දුන්නා. කිසි අඩු පාඩුවක් නැහැ. ප්‍රාදේශීය ලේකම්තුමිය හැමදාම රෑට ඇවිත් හොයල බලනවා. අපිට ඕන ඉක්මනින් ගෙවල්වලට යන්නයි.

පී. ජී. සිරියාවතී - මීට ඉහතත් අවස්ථා කිහිපයකදීම වතුරට කොටු වුණා. ගෙවල් කැඩුණා. රජයෙන් ආධාර දුන්නා. මෙවරත් ගෙවල් කැඩිලා - කුඹුරු විනාශ වෙලා තියෙනවා. කොහොම වුනත් හැමදාම මෙහෙම වෙන්න බැහැ. මේකට ස්ථිර විසඳුමක් ඕන.

එච්. ඇම්. අනෝමා ප්‍රියංගනී - පාසල් යන්න පාඩම් කරන්න විදිහක් නැහැ. මීට ඉහතත් අපේ මවුපියන් වතුරට කොටු වෙලා තියෙනවා. මෙම කඳවුර භාරව ස්වේච්ඡාවෙන් කටයුතු කරන ජේ. ආර්. කපිල ධර්මසිරි මහතා - මෙම ස්ථානයේ කෑම බීම වලින් අඩුවක් නැහැ. නමුත් මෙම ජනතාව කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි දත් බුරුසු දත් බෙහෙත් ඉල්ලනවා. ඒවා දෙන්න නැහැ. පාසල් ළමයින් තරුණ ළමයින් ඉන්නවා. ඔවුන්ට ඒවා අත්‍යවශ්‍යයි. එවැනි ද්‍රව්‍ය ටිකක් ලබාදෙනවා නම් හොඳයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා