මේ විජයග්‍රහණය සියලු ජාතීන්ටයි

මේ විජයග්‍රහණය සියලු ජාතීන්ටයි

* ලොව හොඳම හමුදාවට චෝදනා නඟන්න එපා

* අවි දැරුවත් රණවිරු හදවත් සෙනෙහසින් පිරී තිබුණා

* එදා යුද බිමේ ලේ හැළූ පිරිස් අද රට නඟන්න දහදිය වගුරනවා

* මානව හිමිකම් රැකිය හැක්කේ ජීවත්වීමේ අයිතිය රැකීමෙන්

* උතුරේ ජනතාවගේ අයිතීන් දෙන්නට පැකිලෙන්නේ නෑ

* මේ දෙවසරේදී රටේ සංවර්ධන විප්ලවයක් කළා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කෙළේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දෙවැනි විජයග්‍රාහී විරු සැමරුම් ජාතික උළෙලට ඊයේ එක්වෙමිනි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර පිටියේදී උලෙළ පැවැත්විණි. ලොව දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කර මාතෘ භූමිය එක්සේසත් කළ අපට අද මහත් අභිමානයෙන් යුක්තව ජාතික ධජය එසවීමට පුළුවන්කම ලැබී ඇති බව එතුමා එහිදී සඳහන් කෙළේ ය. අපි මේ සමරන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට එක්ව රටේ ජීවත් වීමට මෙන්ම ප්‍රාණ ඇපකරුවන් වූ උතුරේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නිදහස ලබා දීමත් යන විජයග්‍රහණ බවද ජනාධිපතිතුමා කීවේ ය.ව්‍යවස්ථාවට ඇතුළත් කළ පමණින් මානව හිමිකම් සුරැකෙන්නේ නැති බව කී ජනාධිපතිතුමා මානව හිමිකම් සුරැකිය හැක්කේ ජීවත් වීමට ඇති අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීම වැළැක්වීමෙන් පමණක් බව ප්‍රකාශ කෙළේ ය. ත්‍රස්තවාදයෙන් නිදහස ලබා ගෙවුණු දෙවසර දෙස අභිමානයෙන් බලන්නට හැකි බවත් අලුත් ලංකා සිතියමක් නිර්මාණය කළ හැකි තරමේ සංවර්ධන විප්ලවයක් රට තුළ සිදු කර ඇති බවත් ජනාධිපතිතුමා කීවේ ය.

මායිම් ගම්මාන ලංකා සිතියමෙන් අතු ගා දැමූ අප අද අනාථයන්, අවතැන්වූවන් යන වචන ශබ්ද කෝෂයෙන් ඉවත් කරමින් යන බවත් මදුරු දඟරයේ සිට කොට්ට මෙට්ට පවා ලබා දී උතුරු නැඟෙනහිර යළි ගොඩ නැගීම ඉතිහාසයේ යෝධ කාර්යයන්ගෙන් ප්‍රමුඛ එකක් බවත් ජනාධිපතිවරයා පැවැසීය. නිදහසේ අරුණාලෝකය වැටීමත් සමඟ සංවර්ධනයේ සූර්යාලෝකයත් උතුරු නැඟෙනහිර ජනතාවට ලැබෙන බවත් අප මේ වේගයෙන් ගොඩනඟන්නේ ත්‍රස්තවාදීන් විනාශ කළ පොදු ජන දේපළ බව සිහි තබා ගත යුතු බවත් ජනාධිපතිවරයා කීවේ ය. වෙල්ලමුල්ලිවයික්කාල් වලදී ත්‍රස්තවාදී නායකයාත් මිය ගොස් රට එක්සේසත් වූ මොහොතේ පටන්ම විදේශගත ත්‍රස්තවාදීන් රටට එරෙහිව සංවිධාන වූ බව පැවැසූ ජනාධිපතිතුමා ඔවුන් යුද්ධය පැවැති යුගයේ ආයුධ, නැව් මිලට ගන්න වියදම් කළ මුදල්වලින් ශ්‍රී ලංකාවට එරෙහි අසත්‍ය ප්‍රචාරක ව්‍යාපාර, කුමන්ත්‍රණ නොකඩවා ක්‍රියාත්මක කරන බව සඳහන් කෙළේ ය. ජනාධිපතිවරයා මෙසේද කියා සිටියේ ය. 

‘ලංකාවේ ත්‍රස්තවාදය අවසන් වුවත් විද්ශයන්හි පදිංචි ත්‍රස්තවාදීන් හා හිතවාදීන් තවමත් අප රට විනාශ කරන්න කටයුතු කරනවා. ඔවුන් ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භාවිත කරනවා. රටක ත්‍රස්තවාදය අරඹන්නේ සත්‍යයට වෙඩි තබලයි. කොටි යුද්ධයෙන් පසුවත් සත්‍යයට වෙඩි තැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රණවිරුවන්ට , රටට විරුද්ධ අසත්‍ය වාර්තා ලියන්න කුමන්ත්‍රණ කළා” රණවිරුවන් සටන් කළේ එක අතක ගිනි අවියත්, අනෙක් අතේ මානව හිමිකම් ප්‍රඥාප්තියත්, උරයේ අසරණයන්ට දෙන කෑම පැකට්ටුවත්, හදවතේ දරු සෙනෙහසත් රඳවාගෙනයි. කිසිවකු ගැන වෛර කළේ නෑ. මියගිය ත්‍රස්තවාදී නායකයාගේ අම්මා තාත්තා වෙඩි උණ්ඩයෙන් රැකගෙන මේ පැත්තට ගෙන එන්න තරම් ඔබ මොළොක් වුණා. කිසිම ජාතියකුට, මනුෂ්‍යයකුට වෛර නොකරන අතීත සම්ප්‍රදායේ පිහිටා සිට ලොව දරුණුම, කෲරතම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළා. ත්‍රස්තවාදීන්ටත් ආහාර ඖෂධ යැවූ එකම ජාතිය අපයි. වෙනත් රටවල ගැටුම් මර්දනය කරන අයුරු දුටු විට අපේ මානුෂික මෙහෙයුමේ තිබූ ගැඹුරු මනුෂ්‍යත්වය පිළිබඳ ආඩම්බර වෙනවා. යුද බිමේදී අප හදවතින්ම ඔබත් සමග හිටියා, මුළු රටම ඔබත් සමග හිටියා. අදත් එහෙමයි. ලෝකයා හමුවේ කිසිවෙකුට ඔබ පාවා දෙන්න ඉඩ තියන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕන.

මානුෂික මෙහෙයුම නිම කළාට පසු ඔබව බැරැක්ක වලට සීමා කර තැබුවේ නෑ. අපි අපගේ මාතෘ භූමිය ගොඩ නැගීමේ යෝධ කාර්යයේ කොටස්කරුවෙකු බවට ඔබල පත්කර ගත්තා. විදේශ සේවයේ සිට කොළඹ සුන්දර නගරයක් ලෙස ගොඩ නැගීම දක්වා බොහෝ දේට රණවිරුවන් දායක වුණ බව අපි දන්නවා. එදා යුද බිමේ ලේ හෙළූ ඔබ දැන් රට ගොඩනගන වැඩබිමේ දහඩිය හෙළනවා. එපමණක් නොවෙයි ඔබ තුළ තිබෙන විනය සහ කැපවීම රට ගොඩ නැගීමට ඉල්ලා සිටිනවා. ලෝකයට පෙන්නා දිය යුතු සත්‍යයක් තිබෙනවා. අපි ගොඩ නගා තියෙන්නේ රටවල් ආක්‍රමණය කරන ත්‍රිවිධ හමුදාවක් නොවේ. අප ගොඩ නගා තිබෙන්නේ රට ගොඩ නගන ජනතාව වෙනුවෙන් කැප වුණ ආරක්ෂක හමුදාවක්. මේ මාතෘ භූමියේ නිදහසේ පා තබන සෑම මොහොතකම අප වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ මහා විරුවන් පිරිසක් මේ මහ පොළොවේ සැතපෙන බවත් අප ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඇස්, ඉස් , මස් , ලේ රට ;වනුවෙන් දන් දුන් විරුවන් පිරිසක් අප අතර සිටින බව අප ගෞරවයෙන් සිහිපත් කරනවා. රණවිරුවනි, ඔබ කළ ශ්‍රේෂ්ඨ පරිත්‍යාග අර්ථවත් කරන්න නම් ජාතික සමඟියෙන් යුතු ශ්‍රේෂ්ඨ අනාගතයක් මේ සියලු ජනතාවට ගොඩ නඟා දෙන්න ඕන.

අපි උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මානුෂික අයිතීන් තහවුරු කරන්න මොහොතකටවත් පැකිලෙන්නේ නෑ. උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කොමිසම ලබා දුන් අතුරු නිර්දේශ මේ වනවිටත් අප ක්‍රියාත්මක කර තියනවා. එහි අවසන් වාර්තාව පිළිබඳ මේ රටේ ජනතාව, අප රජය මහත් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ නිසා බෙදුම්වාදීන් හෝ වර්ගවාදී කණ්ඩායම් ඉල්ලන දේවල් ලබා දෙන්න අපි සූදානම් නෑ. මේ රටේ ජනතාවගේ අනුමැතිය නැති නිසා විදේශ ලවා බලපෑම් කරවලා තමන්ගේ බලාපෙරොත්තු ඉටුකර ගන්න මේ අය මාන බලන බව රහසක් නොවේ. එහෙත් කවර බලවතෙකුටත් මේ රටේ ජනතාවගේ කැමැත්ත අනුමැතිය නැතිව කිසිවක් ලබා ගත නොහැකි බව මා අවධාරණය කරනවා. අපේ ප්‍රශ්න අපිම විසඳාගන්නවා මිසක් අන් අයට ඒවා විසඳීමට පුළුවන්කමක් නැහැ. අපට එය කළ හැකි බව ලෝකයාට පෙන්නා දීලා තියනවා ඔබ. යුද්ධය නතර වුණාට පස්සේ ජනතාවට ලැබුණු සහනය මොකක්ද කියලා අසන අයට උතුරට වගේම මුළු රටටම අත දිගුකරලා පෙන්නන්න පුළුවන්. 2007 වසරේ ආර්ථික වර්ධනය සියයට 60.8 යි. හැබැයි යුද්ධය අවසන් කළාට පස්සේ ආර්ථික වර්ධනය සියයට 8 යි.

උතුරේ සංවර්ධනය වේගය සියයට 14.2 යි. ඒ වගේම තමයි රැකියා වියුක්තිය අඩු කර ගන්න පුළුවන් වුණා. ඩොලරයේ අගය ස්ථාවරව පවත්වාගන්න පුළුවන් වෙලා තියනවා. අපේ අනාගත අභියෝග ජය ගන්න තියෙන හොඳම මග රට තුළ ජාතික සමගිය තහවුරු කිරීමයි. අපේ ජනතාව අතර තිබෙන්නේ ශ්‍රේෂ්ඨ ජාතික සමගියක්. ජාතීන් අතර ඇනකොටා ගැනීමක් වර්තමානයේ කිසිම තැනක නෑ. මීට වසර දෙකකට කළින් මේ මහා විජයග්‍රහණය සැමරුවේ කිසිදු ජාතියකට සිත් රිදීමක් ඇති නොවෙන විදිහටයි. වේල් පෙරහැර පැවැත්වෙනකොට සිංහල ජනතාව එයට සහභාගී වෙන්නේ බොහොම කැමැත්තෙන්. සිංහල බෞද්ධ ජනතාව සම්බුද්ධත්ව ජයන්තිය පවත්වනකොට උතුරේ ජනතාවත් එයට සහභාගි වෙනවා. සියලු ජාතීන් එකට ජීවත් වන කොළඹ වෙසක් සිරි නරඹන්න සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහභාගී වුණේ කිසිම භේදයක් ඇතිව නොවෙයි. ජනතාව විසින්ම ඒ ඒ ජාතීන් අතර ඇති කරගෙන තිබෙන මේ බැඳීම රැක ගැනීම අප කාගේත් වගකීමක්. එසේ නැතිව පරණ තුවාල පාරවමින්, අතීත සිදුවීම් යළි යළිත් හාරා අවුස්සමින් ජාතීන් අතර වෛරය ඇවිස්සීමෙන් කිසිම ඵලක් නොවන බව සියලු දේශපාලන පක්ෂවලට මා අවධාරණය කරනවා.

ජීවත්වීමේදී ජාතීන් ඇති කරගෙන තිබෙන මේ ශ්‍රේෂ්ඨ බැඳුම ආරක්ෂා කිරීම රටේ නිදහසටත්, මේ විජයග්‍රහණය රැක ගැනීමටත් තිබෙන එකම මගයි. හැන්දෑවට දරු පැටවුන් අරගෙන කැලෑ වැදිලා ගහකොළ යට මරණ බයේ ජීවත්වුණ ජනතාව අද තමන්ගේම ගෙදර සිනහවෙන් සතුටින් ජීවත්වෙනවා දකිනකොට අපට දැනෙන්නේ විශාල සතුටක්. මරාගෙන මැරෙන මුහුදු කොටි බෝට්ටු ගිය සාගරයේ ධීවර ජනතාව නිදහසේ මාළු අස්වනු නෙළනකොට, බිම් බෝම්බ තිබුණු අක්කර දහස් ගණනක් යළි අස්වද්දනකොට ත්‍රස්තවාදීන් බිඳ දැමූ පාලම් බෝක්කු, දුම්රිය මාර්ග, පාසල්, රෝහල්, නැවත ගොඩනැගෙනකොට ඇළ වේලි වැව් අමුණු ගොඩනැගෙනගොට, පන්සල්, පල්ලි, කෝවිල් ඉදිවෙලා ගාථා, යාතිකා, යාඥා හඩ ඇහෙනකොට ඔබ කළ කැපවීම අපතේ නොගිය බව ඔබට දැනෙනවා ඇති.  සයනයිඩ් කරල කරේ එල්ලගෙන, ටී 56 අත දරාගෙන සිටි දරුවන් සුදු ඇඳුමින් සැරසිලා පාසල් යනවා දකිනවිට ඔබ කළ ශ්‍රේෂ්ඨ කැපවීම අපතේ නොගිය බව ඔබගේ හදවත විජයග්‍රාහී හැඟීමෙන් පිරෙනවා ඇති.

මේ මාතෘ භූමිය නිදහසේ සතුටින් තැබීමට කැපවූ සියලු දෙනාටම මුළු ජාතියේම ප්‍රණාමය හිමි වෙනවා. ඔබගේ ඒ කැපවීම ජාති ජාතිත් කිසිම කෙනෙකුගේ හදවතින් අමතක වෙන්නේ නැති බව ඔබ සදානුස්මරණීය බව මතක් කරනවා.

ඔබ සැමට සුබ අනාගතයක්!

මවුබිම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරන රණවිරු සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ රණවිරු ස්මාරකය අභියස දී ඊයේ (27) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක් වූ අයුරු.
ඡායාරූපය:- සුසන්ත විජේගුණසේකර

 

දෙවැනි විජයග්‍රාහී විරු සැමරුම් ජාතික උළෙලට ඊයේ එක්ව සිටි ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් ඡායාරූප - සුදත් සිල්වා සහ සුදත් මලවීර

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා