මාරක රිය අනතුරේ රියදුරාට ඇප නැහැ

මාරක රිය අනතුරේ රියදුරාට ඇප නැහැ

හංවැල්ල – කිරිදිවැල මහා මාර්ගයේ පූගොඩ කළු පාලම අසල දී කැබ් රථයක ගමන් කළ තිදෙනාටම මරු කැඳවමින් සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කන්ටේනර් ලොරි රථයේ රියදුරාගේ හා රිය සහායකගේ ඇප ඉල්ලීම සලකා බැලූ පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා එම රියදුරාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කොට රිය සහායක රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කෙළේය.

තවද එම අනතුරට ලක්වූ කැබ් රථය හා කන්ටේනර් ලොරි රථය අයිතිකරුවන්ට මුදා හරින ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබීය. මේ අනුව රියදුරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කේ. එල්. බී. එරංග නමැත්තා තවදුරටත් ලබන මස 07 වැනිදා (ජුනි මස 07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමටත් රිය සහායක පුස්සැල්ලෑව ප්‍රදේශයේ පදිංචි ඒ. ජේ. ජයනාත් ආටිගල නමැත්තා ශරීර ඇපයක් මත මුදා හැරීමටත් මෙසේ නියම කෙරිණි.පූගොඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පී. ඒ. ධර්මරත්න මහතා සමග නීතිඥ ගුණතිලක අලගියවන්න මහතා පැමිණිල්ල මෙහෙයවූහ.

ඉකුත් 04 වැනිදා රාත්‍රියේ මේ අනතුර සිදුවිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා