සඳු හිරු ඇති තුරු හෙළ අභිමානය ලොවටම පැතිරූ අමිල දිනක්...

සඳු හිරු ඇති තුරු හෙළ අභිමානය ලොවටම පැතිරූ අමිල දිනක්...

ශ්‍රී ලාංකේය ධරණි තලයෙන් කොටි ත්‍රස්තවාදය අතුගා දැමීමට දිවි හිමියෙන් කැපවූ වීරෝදාර රණවිරුවන් එහිදී පෑ වීර විකුමන් අප දෑස් පනාපිට මහත් අභිමානවත් සහ විචිත්‍රවත් ලෙස විදහා පෑ දෙවැනි විජයග්‍රාහි විරු සැමරුම කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ (27) පෙරවරුවේ පැවැත්විණි. ලක් පොළොව, නිල් අහස, නිල් දියඹ කුරිරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් නිදහස් කර ගැනීම සඳහා එඩිතර හා අභීත ලෙස නායකත්වය ලබාදුන් සේනාධිනායකයා ද පළමු පුරවැසියා ද විධායක ජනාධිපතිවරයා ද වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ප්‍රධාන සම්භාවනීය ප්‍රභූ පිරිස් සමූහයකගේ ගෞරවණීය සහභාගීත්වයෙන් යුතුව මේ සැමරුම පැවැත්විණි. විශ්වයම විමතියට පත් කරමින් අංක එකේ ත්‍රස්තවාදී සංවිධානය පරාජයට පත් කළ ජාතියේ වීර දූ පුතුනට සමස්ත ජාතියේම ප්‍රණාමය පිදීමේ අරමුණින් මේ සැමරුම සංවිධානය කොට තිබුණි.

මාවිල්ආරු සොරොව්ව නිදහස් කර ගැනීමේ අරමුණින් ඇරඹි මානුෂීය මෙහෙයුමෙන් පසු ජය පිට ජය ලබා වෙල්ලමුල්ලි වයිකාල්හිදී අවසාන ත්‍රස්තවාදී නායකයාත් විනාශ කිරීම දක්වා දායක වූ වීර චාරිකාවේදී ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව සිය ජීවිත ද දන් දුන් රණවිරුවන් සදානුස්මරණීය පිරිසකැයි මුළුමහත් ජාතියේම පිළිගැනීම යැයි කියා පෑ අවස්ථාවක් ලෙස මේ සැමරුම නම් කළ හැකිය. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ උදාරතර අරමුණ සහිතව ඉදිරියට ගමන් ගන්නා අප රටට, ඒ සඳහා ඇවැසි මූලික අඩිතාලම රණවිරුවෝ රට නිදහස් කරදීමෙන් ලබාදී අවසන්ය. එය අපට සවියකි. විජයග්‍රහණයේ දෙවන සැමරුම පැවැත්වූ භූමියට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පැමිණියේ උදෑසන 8.00 ට පමණය.

අනතුරුව පිළිවෙළින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක, ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රවිනිශ්චකාර ශිරානි බණ්ඩාරනායක, කථානායක චමල් රාජපක්‍ෂ මහත්ම මහත්මීහු පැමිණියහ. පරිවාර යතුරු පැදි සහ මෝටර් රථ සමගින් අගමැති දි. මු. ජයරත්න මහතා උත්සව භූමියට පැමිණීමෙන් අනතුරුව පරිවාර මෝටර් රථ, යතුරු පැදි සමඟ අලංකාර කරන ලද අශ්වයන් රැසක් පිරිවරාගෙන සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය උත්සව භූමියට පැමිණීමත් සමඟ සියලු දෙනා තම අසුන්වලින් නැගිට ජනාධිපතිවරයාට ආචාර පුද කළහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ජාතික ධජය එසවීමත් සමඟම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායට අයත් සෙබළ සෙබළියන් හතළිස් එක්දෙනෙක් එක්ව ජාතික ගීය ගායනා කළහ. ලක් මාතාව රැකගැනීම සඳහා කොටි ත්‍රස්තවාදීන් සමග සටන් වැද මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැති අතර ගාලු මුවදොර පිටියේ සිටි සියලු දෙනාටම ඒ මොහොතේ මුහුදු රළ හඬ පමණක් ඇසෙන්නට විය. ජනාධිපති ආචාර සම්මාන වෙඩි මුර විසි එකක් පැවති අතර විජයග්‍රහණයේ සැමරුම් පෙළපාළියේ අණ දෙන්නා වන මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා විසින් විශේෂ රථයකින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙළපාළිය පරීක්‍ෂා කිරීම සඳහා කැඳවාගෙන යන ලදී. ඒ අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ද එක් වූහ.

අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විජයග්‍රහණ සැමරුම් උළෙල ඇමතීය. එහිදී ජනාධිපතිවරයා රණවිරුවන්ගේ කැපකිරීම පිළිබඳව අදහස් දැක්වූවේ, ගෞරව භක්ති ප්‍රණාම හැඟුමන් සහිතවය. ආචාර පෙළපාළියේ ඉදිරියෙන්ම ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම ගමන් ගත් අතර ඔවුන්ගේ ආචාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හට පිරිනැමීමෙන් පසු මානුෂීය මෙහෙයුම සඳහා එක්වූ යුද හමුදාවේ සියලුම සේනාංක, පාබල හමුදා, විශේෂ හමුදා ඒකක මෙන්ම යාන්ත්‍රික, ඉංජිනේරු සහ සන්නාහ සන්නද්ධ රථ ජනාධිපති ආචාර පෙළපාළියේ ගමන් ගත්හ. උතුරු, නැඟෙනහිර මෙන්ම වන්නි සේනාංකවල යුද හමුදා නිලධාරීන් සෙබළුන් සිය ආචාරය ජනාධිපතිවරයාට පිරිනමන ලදී. මානුෂීය මෙහෙයුමේදී තම උපරිම සහාය ඒ සඳහා ලබා දුන් නාවික හමුදා සෙබළුන් නිලධාරීන් පෙළපාළිය වර්ණවත් කරද්දී ගාලු මුවදොර මුහුදු කලාපය ඩෝරා යාත්‍රා, වේග යාත්‍රා සහ සයුර, ශක්ති, සුරනිමල නෞකාවලින් සන්නද්ධ කෙරිණි. එම නෞකා ඉතා අලංකාර ලෙස යාත්‍රා කරද්දී සියලු දෙනාගේ නෙත් ඒ දෙසට ගමන් කළේය.

අනතුරුව ගුවන් හමුදා සෙබළුන්, නිලධාරීන් පෙළපාළියේ ගමන් කරමින් ජනාධිපතිවරයාට උත්තමාචාර දක්වද්දී ගුවන සිසාරා ජාතික ධජය ලෙළදවමින් බෙල් 412, බෙල් 212 සහ එම්. අයි. 24 ප්‍රහාරක ගුවන් යානා ගමන් කළේය. නොසිතූ මොහොතක කෆීර් ගුවන් යානයක් මුහුදේ ගෑවෙන නොගෑවෙන ආකාරයෙන් ගාලු මුවදොරින් ගමන් කළේය. ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්‍ෂක බළකාය ද පෙළපාළිය සඳහා එක්වෙමින් සිය උත්තමාචාර සේනාධිනායකයාට පුද කළහ. මාතෘ භූමිය වෙනුවෙන් මහත් කැපකිරීමක් කර කොටි සමඟ පැවති සටන්වලදී තුවාල ලබා ආබාධිත වූ රණවිරුවන් ද මෙම උත්සව අවස්ථාවට එක්වූයේ පැමිණ සිටි සියලු දෙනාගේ නෙතට කඳුළක් එක්කරමිනි. මේ අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික නායකයෝ, මැති ඇමැතිවරු, විදේශ තානාපතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, මහ ඇමැතිවරු, දෙස් විදෙස් හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් ද එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා