ඉහළම ඉසෙඩ් ලකුණු කොළඹින් අඩුම ලකුණු මුලතිව්වලින්

සරසවි ඉසෙඩ් ලකුණු නිකුත් වෙයි

ඉහළම ඉසෙඩ් ලකුණු කොළඹින් අඩුම ලකුණු මුලතිව්වලින්

මේ වසරේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් 20,274 දෙනකු ඇතුළත් කර ගන්නා අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඊයේ (27) නිකුත් කළේය. දැනට තෝරාගෙන ඇති මේ සිසුන් ගණන අතිරේක හා විශේෂ ප්‍රවේශය යටතේ 22000 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. 2010/2011 අධ්‍යයන වර්ෂ සඳහා 2010 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත තෝරා ගන්නා මෙම සිසුන් අතරින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට 1147 දෙනකු ද, ඉංජිනේරු විද්‍යාල සඳහා සිසුන් 1247 දෙනකු ද, භෞතික විද්‍යාව සඳහා සිසුන් 1650 දෙනකු ද, තෝරා ගැනෙන අතර කළමනාකරණය සඳහා 3287 දෙනකු සහ කලා අංශය සඳහා 3806 දෙනකු ද ඇතුළත් කර ගැනෙති.

විශ්වවිද්‍යාලයන් හී පාඨමාලා 86 ක් සඳහා මෙවර සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිතය. මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා ඉහළම ඉසෙඩ් අගය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය 1.9770 කී. දෙවන, තෙවන හා සිව්වැනි ස්ථාන පිළිවෙළින් මාතර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හිමි වේ. මාතර 1.9689, ගාල්ල 1.9470 ක් හා හම්බන්තොට 1.9327 ක් ලෙස ඉසෙඩ් අගය වාර්තා වේ. එම වෛද්‍ය අංශයේ අඩුම අගය වූ 0.5950 ක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.

දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යා අංශයෙන් ද ඉහළ ඉසෙඩ් අගය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 1.9464 ක් වේ. සියලුම දිස්ත්‍රික්ක අතරින් සෑම පාඨමාලාවක් සඳහා ම අඩුම ඉසෙඩ් ලකුණු වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. 2010 උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් 2,33,609 දෙනාගෙන් 1,42,516 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලබා ඇති බවත් ඔවුන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 54124 දෙනකු අයදුම් කර ඇති අතර මෙයින් සිසුන් 22000 ක් දක්වා ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කීවේය. දැනට සිසුන් 20274 ක් තෝරා ගෙන අවසන් බව ද හෙතෙම පැවසීය.

හෙතෙම මේ අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ය. මවර විශ්වවිද්‍යාල අධ්‍යයන වර්ෂ ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බව මෙහිදී කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා ප්‍රකාශ කළේය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා