කැලණි ගඟේ වැලි කොල්ලයට තිත තැබීමේ කාලය ඇවිත්

කැලණි ගඟේ වැලි කොල්ලයට තිත තැබීමේ කාලය ඇවිත්

ප්‍රයිඩ් රයිස් මිස වෙනත් බතක රස බැලීමට අකමැති එක්තරා නිලධාරීන් පිරිසක් පිළිබඳ පසුගියදා යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ. ඩී. වසන්ත මහතා අපූරු හෙළිදරව්වක් කළේය. යටියන්තොට ප්‍රාදේශීය සභාවේ වත්මන සහ එහි අනාගත සැලසුම් පිළිබඳ සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ පැවති සාකච්ඡාවේදී සභාපතිවරයා මේ තොරතුරු හෙළිදරව් කළේ කැලණි ගඟේ වැලි ගොඩ දැමීම ඇතුළු පාරිසරික ප්‍රශ්න ගණනාවක් පිළිබඳ කරුණු දක්වන අතරතුර ය.

ඔහු සඳහන් කළේ තම බල ප්‍රදේශයේ කැලණි ගඟේ සිදුවන දැවැන්ත වැලි කොල්ලය නිසා ගං ඉවුරු කඩා වැටී භූගත ජල මට්ටම පහත වැටීමේ බරපතළ පාරිසරික ගැටලු මතුව ඇති බව ය. රජයේ වගකිව යුතු කාර්යාල අසල ද මේ වැලි ජාවාරම් සිදු වන බව කී සභාපතිවරයා අදාළ නිලධාරීන්ට හෝ ආරක්ෂක අංශවලට දැනුම් දුන්න ද ඊට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැතැයි චෝදනා කළේය. ඇතැම් ජාවාරම්කරුවන් දේශපාලනඥයන්ගේ නම් විකුණමින් මේ ජාවාරමේ නියැළෙන අතර, ජාවාරම්කරුවන් පිටුපස එක්තරා නිලධාරීන් කණ්ඩායමක් ද සිටින බව කී සභාපතිවරයා අතමිට නිතර මුදල් ගැවසෙන එකී නිලධාරීන්ට ප්‍රයිඩ් රයිස් නැතිනම් වෙනත් බතක් වැලඳීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ද කීය.

මේ මංකොල්ලයට තිත තැබිය යුතුයි. එසේ නොවුණොත් කැලණි ගඟ හරහා ඉදිවී ඇති දැවැන්ත පාලම් පවා ගැලවී යාමේ අනතුරක් ද මතුවී ඇතැයි යූ. ඩී. වසන්ත මහතා සඳහන් කළේය. මේ අතර කරවනැල්ල යටියන්තොට ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ කැලණි ගඟේ සිදු කෙරෙන දැවැන්ත වැලි ජාවාරම පිළිබඳ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේද සාකච්ඡාවට බඳුන් විය. එම දිස්ත්‍රික්කයේ බෝට්ටු භාවිත කරමින් වැලි ගොඩලෑම මුළුමනින්ම අත්හිටුවීමටත් බලපත්‍රලාභීන්ට සතියකට දින දෙකක දී පමණක් වැලි ගොඩදැමීමටත් එහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඒකමතික තීරණයකට එළඹිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා