කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘතයි

මතුගමට ගංවතුර

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘතයි

මතුගම ප්‍රදේශයට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තර්ජනයකට මුහුණපා ඇති හෙයින් කුකුළේගඟ විදුලි බලාගාරයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් තරණි අනෝජා ගමගේ මහත්මිය කීවාය. මතුගම අගලවත්ත හා පාලින්දනුවර ප්‍රදේශවල සිදුවූ කඳු නායයාම්, පස් කණ්ඩි කඩාවැටීම් නිසා නිවාස 45 කට හානි සිදුව ඇත.

මතුගම ප්‍රදේශයේ ජලයෙන් යට වූ අය සඳහා අවතැන් කඳවුරු තුනක් පිහිටුවා ඇත. පවුල් 180 අවතැන්ව සිටිති. අවතැන්වූවන්ට පිසූ ආහාර සැපයීමට මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කරගෙන යයි. මතුගම ඉද්දගොඩ කන්ද, බදුරලිය ඉගුරුදළුව, විදලන කඳුවැටිවල නායයාම්වලින් විශාල පස් කඳු කඩා වැටී ඇත.

මතුගම – අලුත්ගම – මතුගම – පැලවත්ත – මතුගම – බදුරලිය – හැඩිගල්ල – පරගොඩ - මෝල්කාව ප්‍රධාන මාර්ගවල ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. පාලින්දනුවර, මතුගම හා වලල්ලාවිට ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යට වී ඇතැම් ප්‍රදේශවල අඩි 5 – 7 අතරේ ජල මට්ටමක් පවතී. පාලින්දනුවර ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු සඳහා ඔරු, අඟුල් හා මෝටර් බෝට්ටු යොදවා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා