රාජ්‍ය සේවකයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි

රාජ්‍ය සේවකයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන් හමුවේ ජනාධිපති කියයි

ජනතාවට කාර්යක්‍ෂම හා උපරිම සේවයක් සැලසීමට රාජ්‍ය සේවකයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.එමෙන්ම ජනතාව අපේක්‍ෂා කරන කාර්යක්‍ෂම සේවය ලබාදීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය දයාසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු එම නියෝජිතයන් පෙරේදා (26) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ අදහස් පළකළේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කටයුතු වගකීමෙන් කළ යුතු භාරදූර කර්තව්‍යයක් බැවින් සෙසු රජයේ ආයතන සමඟ මේ ආයතනය සහයෝගිතාවයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රමාදයන් සිදුවීමට හේතුවක් වී ඇත්තේ ඇතැම් අවස්ථාවලදී අමාත්‍යාංශවලින් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවීමම බව මෙහිදී කොමිෂන් සභා නිලධාරීන් පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු දැනුවත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා එහිදී පැවැසීය.

දීප ව්‍යාප්ත සේවා සහ සේවා ව්‍යවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම්, උසස්වීම්වල ප්‍රමාදයන් වළක්වා කාර්යක්‍ෂමතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ සාකච්ඡාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් වන පාලිත කුමාරසිංහ, සිරිමාවෝ විජේරත්න, එස්. සී. මාන්නප්පෙරුම, ආනන්ද සෙනෙවිරත්න, එන්. එච්. පතිරණ, එස්. තිල්ලනඩරාජා, ඩබ්ලිව්. ආරියවංශ, මොහොමඩ් නහීයා මහත්ම මහත්මීහු ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහත්වරු ද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා