සරසවි අරගල පිටුපස එල්ටීටීඊ බළල් අතක්

සරසවි අරගල පිටුපස එල්ටීටීඊ බළල් අතක්

මෙහෙයවන්නේ ජවිපෙ කැරලිකාර පිල

සැලසුම හැදුවේ කුමාර් ගුණරත්නම්

සිසුන් අරගලවලට පොළඹවා සරසවි නොසන්සුන්තාවට පත් කිරීමේ වැඩපිළිවෙළ එල්ටීටීඊ අවශ්‍යතාව මත ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන බවට තොරතුරු රැසක් හෙළිවී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමේ කුමාර් ගුණරත්නම් සරසවි අකර්මණ්‍ය කිරීමේ වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙන බවට ද අනාවරණය වෙයි.කුමාර් ගුණරත්නම් එල්ටීටීඊ යට සහාය දක්වන අයකු බවත් ඔහු මේ සැලසුම සකස් කර ඇත්තේ එල්ටීටීඊ යේ අවශ්‍යතාව මත බවත් හෙළි වේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා දිනමිණට ප්‍රකාශ කළේ කැරලිකාර කණ්ඩායමේ උපදෙස් මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ කුමන්ත්‍රණය සරසවි තුළට ගෙන ගොස් ඇති බවයි. කුමන්ත්‍රණයේ පළමු බිල්ල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බව පවසන නවරත්න මහතා මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් නොවන්නැයි සරසවි සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි. කුමන්ත්‍රණකරුවන් මෙය සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තරයේ සිටින එල්ටීටීඊ නායකයන්ගෙන් කෝටි ගණන් මුදල් ලබා ගෙන බවද ලේකම්වරයා පවසයි.

උසස් අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් සරසවියට එවන දරුවා මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් නොකිරීමට වගබලා ගන්නැයි ද ලේකම්වරයා සරසවි සිසුන්ගේ මවුපියන්ගෙන් ද ඉල්ලීමක් කරයි. සරසවි පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් තිබෙන බවත් නුදුරේදී එම තොරතුරු රටට හෙළි කරන බවත් හෙතෙම ප්‍රකාශ කරයි. මේ කුමන්ත්‍රණ පරදවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කඩිනමින් නැවත විවෘත කිරීමට පියවර ගන්නා බවද නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා