සීතාවක රාජසිංහ රජුගේ හඳහන හොරු අරන්

සීතාවක රාජසිංහ රජුගේ හඳහන හොරු අරන්

ඓතිහාසික - සීතාවක පුර මානියංගම රජ මහා විහාරයේ තිබූ විෂ්ණු දෙව් පිළිමයේ ඇසක් සහ සීතාවක රාජසිංහ රජුගේ වේලපත්කඩය (හඳහන) නිදන් හොරුන් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි හෙළිවේ.ඊයේ පැවැති සබරගමුව පළාත් සභා මාසික රැස්වීමේ දී මේ තොරතුරු අනාවරණය විය. ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනෙක් මේ ගැන කරුණු අනාවරණය කළහ. මන්ත්‍රීවරුන් පැවසුවේ සීතාවක පුර ඓතිහාසික විහාරස්ථාන දෙකක් නිධන් හොරුන්ගේ ගොදුරු බවට පත්වී ඇතත් ඊට අදාළ වගකිවයුත්තන් ගේ අවධානය ප්‍රමාණවත්ව නොලැබුණු බවයි.

සබරගමුව පළාත් සභාවේ සභාපති රංජිත් බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාසික රැස්වීම පැවැත්විණ. එහිදී ජ.වි.පෙ මන්ත්‍රී පි‍්‍රයන්ත රංජිත් මහතා පැවසුවේ ඓතිහාසික තුන් කෝරලයට අයත් මානියංගම රාජ මහා විහාරයේ සිවු වතාවක්ම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වූ බවයි. එ.ජ.නි.ස පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද මහතා පැවසුවේ මානියංගම පමණක් නොව ඒ ආසන්නව ඇති හකුªරුගල රාජ මහා විහාරස්ථානය ද වරින් වර මෑතක දී නිධන් කොල්ලකරුවන්ගේ ගොදුරක් බවට පත්වූ බවයි.

මානියංගම ලෙන් විහාරයේ ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවේ සිරස විනාශ කර විෂ්ණු ප්‍රතිමාවේ වම් නේත්‍රාවට ලෙස ඔබ්බවා තිබූ වටිනා මැණික පැහැර ගෙන ගොස් ඇති බව ද ශාමින්ද මහතා පැවසීය. සීතාවක රාජසිංහ රජුගේ හඳහන හෙවත් වේලපත්කඩ මෙම විහාරස්ථානයේ තිබියදී නිධන් කොල්ලකරුවන් පැහැරගත් වටිනා කෞතුක භාණ්ඩවලට අයත් එක් දෙයක් බව ප්‍රදේශවාසීන් පවසන බව මන්ත්‍රීවරයා කීවේය. මෙවැනි ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමට වගකිව යුත්තන් ගේ අවධානය දැන්වත් යොමු නොවුනහොත් එම ඓතිහාසික විහාර ගල්ලෙන් බවට පමණක් පත්වෙනු ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා