මත් උවදුරෙන් මිදෙන්න 1948 අමතන්න

මත් උවදුරෙන් මිදෙන්න 1948 අමතන්න

මද්‍යසාර හා දුම්වැටි භාවිතයෙන් මිදෙන්නට අවශ්‍ය ඕනෑම අයකුට 1948 දුරකථන සේවාව ඇමතීමෙන් ඊට අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාගැනීමේ හැකියාව උදා වී ඇත. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන මේ දුරකථන සේවාව ගාස්තු රහිතව නොමිලේ ක්‍රියාත්මක කෙරේ. දුම්වැටි, මද්‍යසාර නිවාරණ දුරකථන සේවාව අමතා උපදෙස් ලබා ගැනීමෙන් ඕනෑම පුද්ගලයකුට දුම්වැටියෙන් හා මද්‍යසාරයෙන් මිදීමට හැකියාව ලැබෙන අතර දරුවන්ගේ යහපත උදෙසා දුම්බීමෙන් වැළකීම ජාතික කර්තව්‍යයක් බව එම මණ්ඩලය ප්‍රකාශ කරයි.

වසර 2015 වන විට ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම වළක්වාලන සමාජයක් බිහිකිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අපේක්ෂාව බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ ලලිත් දිසානායක මහතා පවසයි.  දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) සහ මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) මඟින් සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගි වෙමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ඇමැතිවරයා මේ බව ඊයේ (10) ප්‍රකාශ කළේය.

වර්තමානය වන විට බෝ වන රෝග ඉහළ ගොස් ඇති බවත් හෘදයාබාධ, අධිරුධිර පීඩනය, පිළිකා, දියවැඩියාව, ඇදුම, ආඝාතය යනාදි බෝ නොවන රෝග ඉහළ ගොස් ඇති බවත් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ සභාපති ඕල්කට් ගුණසේකර මහතා පැවැසුවේය. දියුණු වෙමින් පවතින රටවල් වන ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාව දුම්වැටි හා මද්‍යසාර භාවිතයට වැඩි වශයෙන් යොමු වී සිටින බවත් 21 වැනි ශතවර්ෂයේ විශාලම අභියෝගය බවට පත්ව තිබෙන්නේ මේ ගැටලුව බවත් ඒ මහතා කීය.

දුම්කොළ භාවිතය නිසා වසරකට මිලියන හයක් ජනතාව මියයන බවත් දුම්කොළ භාවිතය නිසා ආසියානු රටවල සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වශයෙන් ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවැසීය. මෙරටින් ත්‍රස්තවාදය තුරන් කළා සේම සියලුදෙනාම එක්ව දුම්වැටි හා මද්‍යසාර ත්‍රස්තවාදය තුරන් කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ අවස්ථාවට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය එෆ්.ආර්. මේතා යන මහත්වරු සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා