කැලණිය සරසවියේ ශිෂ්‍යයන් 17කගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසියි

නේවාසිකාගාර ප්‍රශ්නය දුර දිග යයි

කැලණිය සරසවියේ ශිෂ්‍යයන් 17කගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසියි

කැලණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසක් නේවාසිකාගාරවලින් ඉවත් කර ගෙන වෙනත් නේවාසිකාගාරයක් තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ සිසුන් 17 දෙනකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසි කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ප්‍රථම වසරේ පිරිමි සිසුන් යක්කඩුව ශ්‍රී ප්‍රඥාරාම නේවාසිකාගාරයේත්, අනෙකුත් සියලුම සිසුන් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර නේවාසිකාගාරයේත් නේවාසිකාගාර පහසුකම් සැපයීමට පාලනාධිකාරිය තීරණය කර තිබූ අතර මෙම තීරණයට පීඨ සංගම් නියෝජිතයෝ ද එකඟතාවය පළ කර තිබිණි.

ඒ පිළිබඳ ව සාකච්ඡා කළ දින සවස හයට පමණ ජ්‍යෙෂ්ඨ සිසුන් 50 ක පමණ කණ්ඩායමක් යක්කඩුව ශ්‍රී ප්‍රඥාරාම නේවාසිකාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නවක සිසුන් ට පහර දී බිය වද්දා බස් රථයකින් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර නේවාසිකාගාරයට රැගෙන විත් තිබේ.විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා හා ආචාර්ය මණ්ඩලය මෙන් ම ශිෂ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද නවක සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇති නමුත් ඉල්ලීම් නොතකා එදින රැය පුරාම මේ පිරිස නවක සිසුන් රඳවා තබා ගෙන තිබේ.

මේ සිද්ධියට ඍජුව සම්බන්ධ වූ බවට හඳුනා ගත් සිසුන් 17 දෙනකුගේ ශිෂ්‍ය භාවය මෙසේ තාවකාලිකව අත්හිටුවා ඇති අතර නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 10 ක කාලයක් පාලනාධිකාරිය ඔවුන්ට ලබා දී ඇත. එම කාලය මෙම 13 වැනිදා යින් අවසන් වන අතර සිද්ධිය පිළිබඳව විනය කමිටුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා