ජෙයරාජ් ජන්ම දින සමරුව අද

ජෙයරාජ් ජන්ම දින සමරුව අද

කෘතහස්ත දේශපාලනඥයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ 59 වැනි ජන්ම දින සැමරුම අදට (11) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් මීගමුව බෝලවලාන ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේදී ඊයේ (10) රාත්‍රි පිරිත් සජ්ඣායනයක් පැවැත්වුණු අතර අද (11) මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරිනැමීම සිදු කෙරිණි. මේ විහාරස්ථානය හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරුණකි. අද දවස පුරා එහිදී විශේෂ ආගමික වැඩසටහන්ද සිදු කිරීමට නියමිතය.

මේ නිමිත්තෙන් අද (11) දිනය පුරා ප්‍රජා සත්කාරක හා ආගමික වැඩසටහන් රැසක්ද ප්‍රදේශ රැසකදී පැවැත්වෙන බව කටාන ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ප්‍රනාන්දුපුල්ලේ මහතා 1953 ජනවාරි 11 වැනි දින මීගමුවේදී උපත ලැබූ අතර ඔහු 8 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියායි. අභාවප්‍රාප්ත කේ. සී. ප්‍රනාන්දුපුල්ලේ මහතා සහ ඇලිස් මේරි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඔහුගේ මවුපියෝය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා අධ්‍යාපනය ලැබුවේ මීගමුව ආවේ මරියා සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලවලයි.

ඔහු මුලින්ම ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස කටයුතු කළ අතර 1974 දී නීති විද්‍යාලයට ඇතුළත් විය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ නීති විද්‍යාල සමකාලිනයෙකි. 1984 දී කටාන ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වූ ප්‍රනාන්දුපුල්ලේ මහතා මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1989 දීයි. 1994 දී බලයට පත්වූ පොදු පෙරමුණ ආණ්ඩුවේ මුදල් සම්පාදන ජාතික ඒකාබද්ධතා ජනවාර්ගික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඔහු 1997 දී පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා ලෙස පත් විය.

ගුවන් සේවා සංචාරක වෙළෙඳ හා පාරිභෝගික කටයුතු මහා මාර්ග යන විවිධ අමාත්‍යධුර දැරූ ප්‍රනාන්දුපුල්ලේ මහතා 2008 අප්‍රේල් 06 වැනිදා වැලිවේරියේ කාන්ති ක්‍රීඩාංගණය අසලදී කොටි ත්‍රස්තවාදින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වන විට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද ශ්‍රීලනිප යේ භාණ්ඩාගාරිකවරයා ලෙසද කටයුතු කරමින් සිටියේය. දශක 03 කට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය තුළ කොටි ත්‍රස්තවාදින් ඝාතනය කළ අවසන් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයා වන්නේද ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතායි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා