දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව සූදානම්

මවුබිමට එරෙහි ජාත්‍යන්තර මතයක් ගොඩනැඟීමේ

දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව සූදානම්

ආරක්ෂක ලේකම්

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරව මතයක් ගොඩනැගීම සඳහා දෙමළ ඩයස්පෝරාව ක්‍රියාකරන බවත් එයට සාර්ථකව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.ඊයේ (10) කොළඹ පදනම් ආයතනයේ දී පැවැති ‘’ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ අනාගත අභියෝග ‘’ මැයෙන් වූ දේශනයකට සහභාගි වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවැසීය.

එම දේශනයේ දී වැඩිදුරටත් කතා කළ ආරක්ෂක ලේකම්වරයා මෙසේද කීය. එක්සත් රාජධානියේ ආරක්ෂාවට තර්ජනයක් වූ ඔසාමා බින්ලාඩන් ඝාතනය කිරීම කළයුතුම වූ දෙයක් බවට එක්සත් ජනපදය පවසද්දී ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් වූ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය වරදක් යැයි පවසන්නේ ශ්‍රී ලංකාව ආසියාතික කුඩා රාජ්‍යයක් වන නිසා දැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

රට අස්ථාවර කිරීමට විවිධ බලවේග රට අභ්‍යන්තරයෙන්ම ක්‍රියාත්මක වන බවත් එයට අද විශ්වවිද්‍යාල සිසුන් ගොදුරු කරගෙන ඇති බවත් පැවසූ ආරක්ෂක ලේකම්වරයා සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ඔවුන් විශ්වවිද්‍යාලවලින් එළියට ගෙන උද්ඝෝෂණවලට පොළඹවන බවත් උද්ඝෝෂණ යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක මානුෂික අයිතියක් බවද ප්‍රජාතන්ත්‍ර වාදය ස්ථාපිත කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයාමට උද්ඝෝෂණ හොඳ සාධකයක් බවද පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා උද්ඝෝෂණ මුවාවෙන් රට අස්ථාවර කිරීමට කෙසේවත් ඉඩදිය නොහැකි බවද පැවැසීය.

ජනතා ප්‍රශ්නවලට රජය ඇහුම්කන් දිය යුතුවා මෙන්ම ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමද රජයක යුතුකම බවද ආරක්ෂක ලේකම්වරයා මේ දේශනයේ දී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනස් කිරීමට ඡන්ද පොළේදී හැකියාව ඈත බවත් උද්ඝෝෂණ සහ අරගලවලින් ආණ්ඩු වෙනස් කළ නොහැකි බවද හෙතෙම පැවසීය. පසුගිය වසර දෙක තුළදී රජය සියලුම මැතිවරණ විනිවිධ භාවයෙන් පවත්වා එහිදී ජනමතය පැහැදිලිව පෙන්වා දී ඇති බවත් පැවසූ ආරක්ෂක ලේකම්වරයා රටට අවශ්‍ය නායකත්වය ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව තෝරාගෙන ඇති බවද පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා