මේ වසරේ ප්‍රථම ඩෙංගු මර්දන සතිය

මේ වසරේ ප්‍රථම ඩෙංගු මර්දන සතිය

මේ මස 16 වැනිදා සිට 22 වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.  අමාත්‍යාංශය මේ වසරේ ක්‍රියාත්මක කරන ප්‍රථම ඩෙංගු මර්දන සතිය මෙය වෙයි. පසුගිය වසර කිහිපයක දත්ත විශ්ලේෂණය කිරීමේදී ඉදිරි මාස කිහිපයේ ඩෙංගු අවදානමක් ඇති විය හැකි බවට කැර ඇති පුරෝකථනය අනුව මෙලෙස ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කැර ඇත. පසුගිය වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ මාසය ලෙස දෙසැම්බර් මාසය සටහන් වී තිබේ.

එම මාසයේ රට පුරා ඩෙංගු රෝගීන් හාරදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් දිනමිණට පැවැසීය. සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක්ම කලාප හතකට බෙදා එක් දිනයකට එක් කලාපය බැගින් ආවරණය වන පරිදි ඩෙංගු මදුරුවන් බෝවන හා බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට ඩෙංගු මර්දන සතියේදී පියවර ගන්නැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

මේ ඩෙංගු මර්දන සතියේදී හඳුනාගනු ලබන අවදානම් ස්ථාන පිළිබඳ මේ මස 30 සහ 31 දෙදින නැවත විමර්ශනය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කැර තිබේ. මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තම බල ප්‍රදේශවල මදුරු මර්දන කටයුතු පිළිබඳ වාර්තාවක් සකස් කැර මේ මස 25 වැනිදාට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දිය යුතු බවටද දැනුම්දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා