නිදහසේ හුස්ම ගන්න වරම් දුන් ජනපතිට තුති පිදිය යුතුයි

නිදහසේ හුස්ම ගන්න වරම් දුන් ජනපතිට තුති පිදිය යුතුයි

 - මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

ශ්‍රී ලංකාවාසීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව සලසාදී ම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කාගේත් ස්තුතිය පිරිනැමිය යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

කාදිනල්තුමා මේ බව ප්‍රකාශ කළේ මෙම දිනවල රෝමයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ගයිනො රියලි බිෂොප්තුමා පෙරේදා (7) පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙමිනි.

එම භෝජන සංග්‍රහයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය මෙන්ම ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරනු ලබන සේවාව පිළිබඳ පැමිණ සිටි ආරාධිත පිරිස හමුවේ කාදිනල්තුමා කරුණු දැක්වීය.

"ශ්‍රී ලංකාවට සාමය උදාකර දීම ඉතිහාස ගතවන සිද්ධියකි. එතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටුකර ඇත්තේ උදාර මෙහෙයකි. ජනාධිපතිතුමා හමුවේ ඇත්තේ පහසු කාර්යභාරයක් නොවේ. එතුමා ධෛර්යයවත් නායකයෙක්.

අභියෝගවලට මුහුණ දී නව ශ්‍රී ලංකාවක් ගොඩ නගනු ඇත. තීරණ ගැනීමේදී ධෛර්යයවත් වන ලෙසත්, මේ ආකාරයෙන් කටයුතු කරගෙන යාමේදී ඔබට වඩාත් සාර්ථක ප්‍රතිථල ලැබෙන බව මට විශ්වාසයි. අපි ඔබට අවශ්‍ය සහාය ලබා දෙමු" යැයි ද කාදිනල්තුමා පැවසූහ.

ජනාධිපතිතුමා දේශපාලන දිවියේ 42 වසරක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් පැමිණ සිටි විශේෂ ආරාධිත පිරිස ජනාධිපතිතුමන් වෙත මෙහිදී සුභාශිංසන එක් කළහ‍.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා