බාලවයස්කාරිය බිහිකළ ළදරු කලලයක් වළ දමා තිබියදී සොයා ගැනේ

බාලවයස්කාරිය බිහිකළ ළදරු කලලයක් වළ දමා තිබියදී සොයා ගැනේ

පහළොස් හැවිරිදි (15) බාලවයස්කාර දැරියක් බිහිකළ නොමේරූ බිලිඳු කලලයක් පදිංචි නිවෙසෙයි ඉඩමෙහි වළ දමා තිබියදී තලාව පොලිසිය විසින් ඊයේ (09) සොයා ගෙන ඇත.

තලාව, මොරගොඩ ප්‍රදේශයේ පදිංචි මේ පහලොස් හැවිරිදි දැරිය එප්පාවල ප්‍රදේශයේ විසි හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සමබදතාවක් පවත්වා ඇත. පසුව දෙදෙනා තලාව මොරගොඩ ප්‍රදේශයේ කාලයක සිට පදිංචිව සිට තිබේ.

ඒ කාලය තුළ මේ දැරිය ගැබ්ගෙන ඇති අතර ඇයගේ කුසෙන් බිහිකළ බිලිඳු කලලය මෙසේ වළ දමා තිබියදී පොලිසියට ලැබු තොරතුරක් මත සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි. මේ සම්බන්ධව තමුත්තේගම අධිකරණය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබිණ.

මේ දැරියගේ කලලය ස්වභාවිකව බිහිකළාද නැතිනම් ගබ්සා කිරීමෙන් සිදුවුවද යන්න සහ බාලවයස්කාර දැරිය ගැබ් ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රේමලාල් ජයසේකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එච්. පී. හේරත් මහතා ඇතුළු නිලධාරිහු සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා