යහපත් සමාජයක් බිහිකිරීම ගෙදරින් පටන් ගත යුතුයි

යහපත් සමාජයක් බිහිකිරීම ගෙදරින් පටන් ගත යුතුයි

කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

මතට ඇබ්බැහිවූවන් විශෝධනය කර සමාජගත කිරීම සඳහා කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් විසින් ඇතිකරන ලද මිතුරු මිතුරෝ වැඩසටහනට වසර 25ක් සපිරේ. බුදු දහමේ මඟපෙන්වීම් අනුව එම විශෝධන ක්‍රියාවලිය සිදුවන අයුරු හා අපරාධ අපචාර වැළැක්වීම පිළිබඳත්, සමාජය ආගම දහමට නැඹුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳත් උන්වහන්සේ සමඟ සිදුකරන ලද සාකච්ඡාවකි මේ.

l මතට යොමුවූවන් විශෝධනය කිරීම අරමුණු කරමින් මිතුරු මිතුරෝ වැඩසටහන ඔබවහන්සේ විසින් අරඹනු ලැබුවා. එහි ආරම්භය සිදුවුණේ කොහොමද?

1984 දී මම පැල්මඩුල්ල – පාතකඩ සර්වෝදය භික්ෂු පුහුණු ආයතනයේ සිටියදී ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ස්වේච්ඡාවෙන් වැඩ කළා. ළමයින් හා තරුණ පිරිස අරමුණු කරමින් පෝදා තරුණ ශීල සමාදානයක් පැවැත්වූවා. එමඟින් විවිධ ජාතික, ආගමික හා සංස්කෘතික වැඩසටහන්වලට ඔවුන් යොමු කළා. උදෑසන 5 ට 5.30 ට පමණ සිල් සමාදන් වීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පැවැත්වූවේ එක් ධර්ම දේශනාවක් පමණයි. නමුත් සාකච්ඡා කිහිපයක්ම වැඩසටහනට ඇතුළු කර තිබුණා. මනෝ වෛද්‍යවරු පවා ඒවාට සහභාගි වුණා. මේ වැඩසටහන ඉදිරියට ගෙනි යන අතර, 1984 දීම අධිකරණ අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම්තුමා පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් අවධානයට ගෙන 1987 දී මේ වැඩපිළිවෙළ ආරම්භ කළා. දැන් ඊට වසර 25ක් සම්පූර්ණයි.

මේ වකවානුවේ රටේ ප්‍රශ්න උග්‍ර වුණා. උදව් – උපකාර කරන අය අඩුවුණා. නමුත් පැල්මඩුල්ල ප්‍රදේශයේදී තහඩු ටිකක්, ලී දඬු කිහිපයක් පමණක් යොදාගෙන ආරම්භ කරපු මිතුරු - මිතුරෝ සෙවණ ටිකෙන් ටික පෙරට ගෙන යාමට අපට හැකි වුණා. ආරම්භ කර සතියකින් පමණ පොල් අතු සෙවිළි කරමින් මෙය තව ටිකක් පිළියෙල කළා.

1987 ජූලි 21 වැනිදා රටවල් 64ක් නියෝජනය කළ ජාත්‍යන්තර සමුළුවකට පවා අපි සහභාගි වුණා. ඒ අතර සිටි එකම බෞද්ධ භික්ෂුව මා පමණයි. භික්ෂුවගේ කාර්ය භාරය එහිදී ජාත්‍යන්තර වශයෙනුත් අවධානයට ලක්වුණා.

පුනරුත්ථාපනය කියන්නේ කැඩී බිඳී ගිය දෙයක් යථා තත්ත්වයට පත්කිරීම විශේෂයෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ සිත පිරිසුදු කර ගැනීමයි. ඒක කරන්න පුළුවන් වෙන්නෙ ධර්මයෙන්. අපි මේ වැඩසටහන පුරාම අදාළ කරගන්නේ ඒ අදහසයි. එනම් මෙය ධර්මානුකූලව සිදුවන මෙහෙයවීමක් ප්‍රායෝගික බුදු දහම යනුවෙන් අදහස් කෙරෙන්නේ මෙවැනි වැඩපිළිවෙළයි. බෞද්ධ පිළිවෙත් අනුව අපේ ප්‍රතිපත්ති පිළියෙල කරගන්නේ කෙසේද යන්න මෙහිදී පෙන්වා දෙනවා. මෙය මිනිස් ජීවිත ගොඩනඟන වැඩසටහනක්. මත් ලෝලීන් විශෝධනය පමණක් නෙවෙයි, ඕනෑම ප්‍රශ්නයකදී ප්‍රශ්නයෙන් හෝ ජීවිතයෙන් පලා නොයා ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනත්, මනා පෞරුෂයක් මෙන්ම උසස් මානසිකත්වයක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්නත් මෙහිදී දැනගත හැකියි.

l වසර 25 කට පසුව මේ වැඩපිළිවෙළ සාර්ථක, අසාර්ථක බව පිළිබඳ ඔබවහන්සේගේ අදහස්?

සියයට 55 – 60 පමණ පිරිසක් සාර්ථකව විශෝධනයට ලක්වී තිබෙනවා. මිතුරු - මිතුරෝ සෙවණ යටතේ ආයතන 5 ක 400 – 500 ක් පමණ නේවාසිකව විශෝධනයට ලක්වෙනවා. දැනට මේවායින් 15,000 ක් පමණ පිටවී සමාජයට එක්ව සිටිනවා. එම පිරිසෙන් සියයට 60ක් පමණ සම්පූර්ණයෙන් මතින් වැළැකිලා. දුම්වැටියක් පවා භාවිත කරන්නේ නෑ. සියයට 15 – 20ක් පමණ හෙරොයින් නොවෙයි, නමුත් වෙනත් මත්වන දෑ භාවිත කරනවා. දුම් පානයේ යෙදෙන සියයට 10 – 15ක් පමණ පිරිසක් සිටිනවා. මුළුමනින් සාර්ථක වී නැති අයටත් තවත් අවස්ථාවක් දීලා වෙනම ආයතනයක් යටතේ ජීවිතය ගොඩනඟා ගැනීමට ඉඩදීමේ වැඩපිළිවෙළකත් අප යෙදී සිටිනවා.

l දඬුවම හා පුනරුත්ථාපනය අතර ඇති වෙනස තේරුම් කරන්නේ කොහොමද?

මුල පටන්ම මම කියන දෙයක් තමයි වරදක් කළොත් ඊට දඬුවමක් තිබිය යුතුයි කියන එක. නමුත්. දඬුවමකින් සිදුවිය යුත්තේ පුද්ගලයා විනාශ කිරීම නොව යහපත් හා සාර්ථක මිනිසකු ලෙස යළි සමාජගත කිරීමයි.

දඬුවමකට ලක්කිරීමට පෙර ප්‍රතිකාරයකට ලක්කිරීම කළ හැකි නම් වඩා සුදුසුයි. ප්‍රතිකාරය ප්‍රතික්‍ෂේප කරනවා නම් අදාළ තැනැත්තාට දඬුවම් කළ හැකියි. ප්‍රතිකාරය මගින් පුද්ගලයකු කායිකව මෙන්ම මානසිකවත් යම් යොමු කිරීමක් සිදු වෙනවා.

l මත්ලෝලීත්වය සමඟ අපරාධ හා අපචාරත් සම්බන්ධයි. අපරාධ මර්දනය කිරීම පිළිබඳ බුදු දහමේ මඟ පෙන්වීම අනුව ඔබවහන්සේ පැහැදිලි කරන්නේ කෙසේද?

මෙතැනදී පවුල කියන සංකල්පය හරිම වැදගත්. “පවුල” උතුම් දෙයක්. ශක්තිමත් පවුල් සංස්ථාවක් ගොඩනැඟෙනවා නම් එය යහපත් සමාජයකට විශාල රුකුලක්.

සමාජයේ තැනුම් ඒකකය වෙන්නෙ පවුලයි. නිවසේදී මව්පියන් හා දරුවන් අතර ඉතා සමීප මෙන්ම ආදරණීය සබැඳියාවක් තිබිය යුතුයි. සංවිධානාත්මක පවුලක් පිළිබඳ කල්පනා කළ යුත්තේ විවාහයට පෙර පටන්මයි. විවාහපේක්‍ෂකයන් ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි. නමුත් බොහෝ විට පවුල කෙරෙහි ඇති අවධානය ගිලිහී යන බවත් පෙනෙනවා.

වත්මන් අධ්‍යාපන ක්‍රමය පවා හරිම තරගකාරියි. තරගය මිස පෞරුෂ වර්ධනයක් එමඟින් ඇති නොවන තරම්. අනවශ්‍ය තරගකාරීත්වයක් සෑම තැනම තියෙන්නෙ. පවුල තුළ, පාසලේදී, ගුරුවරු අතර, ළමයි අතර, ආදි සිසුන් අතර, මවුපියන් අතර ආදී වශයෙන් මේ තරගය දකින්න පුළුවන්.

අනෙක් කාරණය රූපවාහිනිය මගින් මුදාහරිමින් ඇති දේවල්. හිංසාකාරී ක්‍රියාවන් දකින දරුවන්ගේ මානසිකත්වය ගොඩනැඟෙන්නේ මොන විදිහටද. කාට හරි ගහනවා දැක්කම සමහරු හිනාවෙවී බලන් ඉන්නවා.

අපි රටක්, සමාජයක් හැටියට මානසික හා අාධ්‍යාත්මික සංවර්ධනය ගැන මීට වඩා කල්පනා කළ යුතුයි. භෞතික දියුණුව ඇතිවන අතර අාධ්‍යාත්මික දියුණුවත් ඇතිවිය යුතුයි. ආසියාවේ ආශ්චර්යය ලෙස අප නැඟී සිටිය යුත්තේ ආධ්‍යාත්මික ආශ්චර්යයක් ද පෙන්නුම් කරමිනුයි.

l අපරාධ රැල්ලක් ඇති බවට මාධ්‍ය මගින් පෙන්නුම් කරමින් සිටිනවා. මාධ්‍ය විසින් අපරාධ වාර්තා කරමින් ඇති ආකාරයත්, අපරාධ වර්ධනයට රුකුලක් විය හැකි ද?

නිසැකවම ඔව්. යුද කාලය තුළ යුද මානසිකත්වයක් ගොඩනැඟී තිබුණා. දැන් මාධ්‍ය විසින් කරමින් සිටින්නේ යුද මානසිකත්වයක් ගොඩනැඟීමයි. බුද්ධ කාලයේත් අපරාධ සිදුවුණා. මිනීමැරුම් - ස්ත්‍රී දූෂණ සිදුවුණා. නමුත් දැන් එවැනි සිද්ධියක් තත්පර ගණනක් තුළ වාර්තා කිරීමට තරම් මාධ්‍යවලට හැකියාව තිබෙනවා. ඒ වාර්තාකරණයේදී අඩු - වැඩිවීම් සහිතව තමයි එය කරන්නේ. මිනිසුන් ඇද – බැඳ ගැනීමට හැකි පරිදි මාධ්‍ය මේවා වාර්තා කරනවා. මිනිසුන්ගේ ඔළු අවුල් කිරීම තමයි කරන්නේ. මේවා දකින කුඩා දරුවන් පවා මේවා අනුගමනය කරන්න පුළුවන්. උද්වේගකර දේවල් පවා පෙන්වනවා.

මාධ්‍ය මගින් අපරාධයට දෙන ප්‍රසිද්ධිය දඬුවමට දෙන්නේ නෑ. දඬුවමට ප්‍රසිද්ධියක් දෙනවා නම් ඒකත් අපරාධ මර්දනයට රුකුලක්. හැබැයි අපරාධය ගැන වාර්තා කළ අය අපරාධයට දඬුවම් ලැබෙන කොට නිහඬ වෙනවා. අපරාධය වගේ දඬුවම විකුණන්න බැරි නිසා විය යුතුයි. දැන් ඕනෑම කෙනෙකුට ජංගම දුරකතනයේ ඇති කැමරාවෙන් මේ ඕනෑ දෙයක් රූගත කරන්න පුළුවන්. එහෙම කියල ඒ හැම දෙයක්ම ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් පෙන්විය යුතු ද? හැබැයි ඇතැම් මාධ්‍ය එහෙම කරනවා.

මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. ඔවුන් මේ වාර්තාකරණය කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන්. ඒත් ඉතා පහත් විදිහට මේක කරන්න ගියාම ඒකත් අපරාධවලට රුකුලක් වන බව තේරුම් ගත යුතුයි.

l ආගමට දහමට නැඹුරු වූ සමාජයක අපරාධවලට ඇති අවකාශය අවමයි. තරුණ පරපුර ආගමට – දහමට නැඹුරු විය යුත්තේ විලාසිතාවකටත් නොවෙයි. පිළිවෙතින් පෙළගැසීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතර සාරධර්ම පරිහානියක් ද දකින්න ලැබෙන්නේ යම් අඩුවක් නිසා විය හැකියි ද?

පිළිවෙතින් පෙළගැසීමට නැඹුරු වූ වර්ෂයේත් අපරාධ රැසක් සිදුවුණා. මෙතැනදී ගම නගරය කියල විශේෂයක් නෑ. ගම්වලත් අපරාධ සිදුවෙනවා. ගමේ පන්සලටත් සමාජය ආගමට – දහමට නැඹුරු කිරීම පිළිබඳ විශාල වගකීමක් තියෙනවා. හැබැයි අද ඇතැම් පන්සල් රෑ 7 – 8 වෙනකොට ගේට්ටු වහලා, ටී. වී. බලන්න පටන් ගන්නවා. බණත් පැය 1/2ක් කිව්වම ඇති කියලා ඒ වෙලාව වෙනකොට ඉවර කරනවා. සමාජ පරිහානියක් ඇතිවීමට මේවා බලපානවා.

මම නිරීක්‍ෂණය කළ දෙයක් තමයි, දහම් පාසල් අධ්‍යාපනය ලැබූ ළමයි කිසිවෙක් හිරේ නොසිටි බව. හැබැයි, දැන් දහම් පාසල් ගුරුවරුත් අපරාධ කරල හසුවෙනවා. අපි මේවා ගැන හොඳින් සිතා බැලිය යුතුයි. අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.

ප්‍රායෝගික බුදු දහමට අනුව අපේ හැසිරීම පවත්වා ගත යුතුයි. චර්යාත්මක කළමනාකරණය කියල අද කතා කරන්නේ මේකයි. ප්‍රායෝගික බුදු දහම වෙනුවට අද විලාසිතාවක් වගේ නොයෙක් නොයෙක් විකාර සිදුවෙනවා. අපට කියන්න තියෙන්නේ මේවා පසුපස ගිහින් ඔළු අවුල් කරගන්න එපා කියන එකයි. යහපත් සමාජයක් බිහිකිරීමේ වගකීම පැවරෙන්නේ රජයට පමණක් නෙවෙයි. ඒක ඔබට, මට සහ සමස්ත සමාජයටම පැවරෙන වගකීමක්. ඒ කාර්යය ගෙදරින් පටන් ගත යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා