මගේ දේශපාලන ගමනේ යෝධ සෙවනැල්ල තාත්තා

මගේ දේශපාලන ගමනේ යෝධ සෙවනැල්ල තාත්තා

අමල් සේනාධිලංකාර - සභාපති, විදේශ සේවා නියුක්ති කාර්යාංශය

අමල් සේනාධිලංකාර ගේ අත්තා ඒ කාලයේ හිටිය වතු අධිකාරිවරයෙක්. හපුතලේ රෝයල්ටන් වත්තට වෙලා හිටිය මේ අත්තාට සම්බන්ධතා ගොඩක් තිබුණා.

රෝයල්ටන් වත්ත අයිති සුදු ජාතිකයාත්, අත්තත් අතර තිබුණු සම්බන්ධතා කොයිතරම් ද කිව්වොත් සුදු ජාතිකයාගේ ඡන්ද ව්‍යාපාරයට උදවු කරන්නට ඔහු තෝරා ගත්තේ සේනාධිලංකාරව. වතු අධිකාරිකමට අමතරව පැවරුණු මේ අපූරු කටයුත්තට උනන්දුවක් දැක්වු සේනාධිලංකාර පරපුරේ මුල් පුරුකට ලැබුණේ අපූරු අත්දැකීමක්. ඒ සෑම අත්දැකීමක්ම ඔහු බෙදා හදා ගත්තේ ඔහුගේ පුත්‍ර රත්නය වුණු ලංකානාථ පෙරේරාත් සමඟයි.

සිය පියාගේ කතාබහ ඔස්සේ ඡන්ද ව්‍යාපාරය පිළිබඳ යම් අවබෝධයක් ලැබුණත්, ලංකානාථ තරුණයාට ඉංග්‍රීසි ජාතිකයන්ගේ කෙරුවාව ගැන ඒ තරම්ම පැහැදීමක් තිබුණේ නැහැ. මේ නිසාමදෝ ලංකානාථට සුදු ජාතිකයන් සමඟ තිබුණේ අඩු පයුරු පාසානමක්. ඔහු කොයිතරම් සුදු ජාතිකයන් හෙළා දුටුවද කිව්වොත් ඒ කාලයේ ඇන්දේ වේට්ටියයි, බැනියමයි. එකල සිටිය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකත් සමඟ බොහොම ළඟ ඇසුරක් තිබුණු ලංකානාථ, බණ්ඩාරනායකත් සමඟ එකම අදහස් දැරුව තරුණයෙක්. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයන්ගෙන් එක් අයෙක්.

ලංකානාථ පෙරේරා සේනාධිලංකාර කොයිතරම් තමන්ගේ ජාතිකත්වයට ආදරය කළාද කිව්වොත් තමන්ගේ දරුවන් හත්දෙනාට ඔහු ගෙනාවේ අපූරු නීතියක්. “උඹලා කිසිකෙනෙකුට ඉංග්‍රීසි ඇඳුම් අඳින්න තහනම්.”

ඔහු කිව්වේ දරුවන් හත්දෙනාම පෙළට තියලා.

ලොකු පුතා උපුල්. දෙවැනියා සමන්තා, තුන්වැනියා අමල්, සිව්වැන්නා රහල්, පස්වැන්නා අනුරාධි, සයවැන්නා ඉන්දිකා, බඩපිස්සි පාලිකා, මේ හැමෝම තාත්තගේ දේශනය අහගෙන හිටියේ එක පෙළට ඉඳගෙන.

තමන්ගේ සැමියා කියන මේ වචන පෙළ හොඳට හිතට ගත්ත තවත් කෙනෙක් මෙතන හිටියා. ඒ ලංකානාථගේ බිරින්දෑ. මාලනී සේනාධිලංකාර. දේශපාලන කටයුතු වගේම ව්‍යාපාර කටයුතුවල නියැළිලා ඉන්න සිය සැමියගේ ජීවන ගමනට අපූරු සහකාරියක් වුණු ඈ, දරුවන්ගේ බර කරට ගත්තේ දෙවරක් සිතන්නේ නැතිවමයි. දරුවන් සත්දෙනෙකු හදා වඩා ගැනීම ලෙහෙසි පහසු රාජකාරියක් නොවුණත් ඈ තම දරුවන් සත්දෙනා බොහොම ආදරයෙන් හදා වඩා ගත්තා. ඒ නි‍ෙවසේ අනිත් කටයුතුත් කෙරෙන අතරතුරමයි.

අද අපේ කතානායකයා වන අමල් සේනාධිලංකාර කියන වත්මනෙහි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා මේ පවුලේ තුන්වැනියා ලෙසයි ඉපදුණේ.

සිය අතීතයේ රැඳුණු මේ අපූරු මතකය සිහිපත් කරමින් ඔහු අප සමඟ කතාබහට එක්වුණේ සුහද සිතින්.

අමල්ගේ තාත්තා ලංකානාථ පෙරේරා සේනාධිලංකාර දේශපාලනයට වගේම ආගමටත් ආදරය කළ කෙනෙක්. ඔහු ආගමට කොයිතරම් ළැදි වුණාද කිව්වොත් මේ වනවිට හැමෝම දන්න කෝට්ටේ රජමහා විහාරය ගොඩනඟන්න මූලිකත්වය දුන්නේ මේ පිය-පුතු දෙපළයි.

මේ අපූරු සෙවනැල්ලේ සුවය ලබමින් සැදී වැඩුණු අමල් පුතා තරමක් දඟකාරයෙක් වග නි‍ෙවසේ හැමෝටම වගේ වැටහුණු කාරණයක්. සිය සොහොයුරු සොහොයුරියන්ට ‘පොඩි අයියා’ වූ අමල්, ලංකානාථට වගේම මාලනීට ‘පොඩි පුතා’ වුණා. මේ දඟකාර සිඟිත්තා සිය නෙත් මෙන් රැක ගැනීමට මාලනී ගත්තේ සුළුපටු මහන්සියක් නම් නෙමෙයි. පවුලේ අන් දරුවන් අතරින් කැපී පෙනෙන, වෙනසක් ඇතිව හැදුණු වැඩුණු අමල්ගේ වීරයා වුණේ ඔහුගේ පියාණන්.

අමල් පුතා නිවෙසෙහි කෙළිදෙළෙන් ගෙවෙන කාලයට තිත තබන්න සිදුවන්නේ හදිසියේම. මොකක්ද මේ වෙනස කියලා හොයලා බැලූ ඔහුට සිය අයියණ්ඩි, අක්කණ්ඩිත් සමඟ අකුරු කරන්නට යන්න වග දැනුණම ඇති වුණේ පුදුම සතුටක්. ඒ සතුට හදවත කොයිතරම් වැළඳ ගත්තද කිව්වොත්, අමල් පුතා අනෙක් හැමෝටම කලින් පාසල් යන්න ඇඳ පැළඳ ගත්තා. ලංකානාථ ඔහුව රැගෙන ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. සිය දෙවැනි නිවහන වු ඉසිපතනයට අමල් දිවි දෙවැනි කොට ආදරය කළා. අකුරු කරන්නට වගේම අමල් ක්‍රීඩාවට දක්ෂයෙක් වුණේ පාසලේ සියල්ලන්ගේම ආදරය දිනා ගනිමින්.

“ඉසිපතනය කියන්නේ් මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක්. මගේ සිත වඩාත් පැහැර ගත්තේ ක්‍රිකට් හා රගර් කියන ක්‍රීඩා. මේ ක්‍රීඩාවන්ගේ නායකයා ලෙසට මා කාලයක් කිරුළ හිමිකර ගත්තේ ඊට තිබුණු දක්ෂතාව නිසාමයි. ටෙනිස් මා බෙහෙවින් ප්‍රිය කළ ක්‍රීඩාවක්. කොහොම වුණත් ඒ කාලයේ අපි පාසලෙන් දුර පළාත්වල ක්‍රීඩා තරගවලට යනවා. එහෙම එද්දි රෑ වුණොත් නතර වන්නේ පාසලේමයි. ඒ වගේ දවස්වලට මමත්, යාළුවෝ කිහිපදෙනෙකුත් කරන අපූරු දඟකාර වැඩක් මට අද වගේ මතකයි. ඒ වගේ දවසක රාත්‍රිය ගෙවිලා හිමිදිරිය උදාවෙන්නේ කොයිවේලේද කියලා අප බලන් ඉන්නේ බොහොම කලබලයෙන්.

කුකුළත් අතින් අරගෙන එන යාමෙම පාසලෙන් එළියට එන අපි පාර්ක් රෝඩ් එකේ ඇවිදින්නේ යම් කාරණයක් හිත යට හංගගෙනයි. ඒ වෙනකොට ඒ අවට නිවෙස්වල ගේට්ටුව ආසන්නයේ තියලා යන පත්තර, කිරි බෝතල් එකතු කරනා දඟකාර වැඩෙන් අප ලැබුව තෘප්තිය අපමණයි.”

කොලුකමට කළ කොලුවැඩ කිසිම කෙනෙක් දන්නේ නැති වුණත් මේ දඟකාර කොලු පැටියාට නාහෙට නාහන ගතියකුත් තිබුණා. තාත්තගේ අණට අකීකරු වීම අමල් පුතාට ගෙනාවේ සන්තෝෂයක්. ඒ කාලයේ ලංකානාථ කෝට්ටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක. බිග් මැච් කාලයට තාත්තත්, පුතත් අතර ගෝරි ගොඩායි. ඒ අමල්ගේ නිවාසේ කොළපාට කොඩිය, තමාගේ බල ප්‍රදේශයේ ගසාගෙන යෑම තහනම් වීම නිසයි.

නුගේගොඩින් වාහනය පියමං කරනවාත් සමගම අමල්ගේ නිවාසේ කොඩිය වාහනය ඉස්සරහ ලෙළ දෙන්නේ කතා දෙකක් නැතිවමයි. මේ මොන දඟකාරකමක් කළත් අමල් පුතා සිය පියාට දැඩි සේ ආදරය කළා. ඒ ආදරය කොයිතරම්ද කියලා දැනුණේ සිය පියාගේ වියෝවත් සමඟයි.

“ඒ නරක කාලය ලැබුවේ 1977 වසරේදී. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ අපේ පවුලේ අයට බොහෝ සේ දුක් කරදරවලට මුහුණ දෙන්න සිදුවුණා. අපට වගේම ව්‍යාපාරවලටත් සිදුවුණු අලාභ හානිය, අඩන්තේට්ටම් මේ යැයි කියලා නිම කරන්න බැහැ. මේ කාරණා ඔස්සේ තාත්තගේ හිත හොඳටම පෑරුණා. ඔහු රෝගාතුර වුණේ ඒ පෑරුණු හිතින්. අවසානයේ ඔහු අපව දාලා ගියා.

මෙතෙක් අකීකරු පුතෙක් විදිහට කටයුතු කළ මට ඔහු ආදරය කළ දේශපාලනය වැළඳ ගැනීමේ අපූරු සිතුවිල්ල ඇතිවන්නේ ඔහුගේ දෙපා අසලදියි. ඒ සිතුවිල්ල සැබෑවක් කරන්නට ඔහුගේ දෙපා අසලදී හදවතින් දිවුරුම් දී මා සපථ වුණා.”

අමල් සේනාධිලංකාර නම් වූ සොඳුරු තරුණයා සිය දේශපාලන ගමන ආරම්භ කරන්නේ එලෙසින්. සුනේත්‍රා බණ්ඩාරනායකගේ මඟපෙන්වීම යටතේ, අනුර බණ්ඩාරනායක හඳුනා ගෙන, අමල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සිය පියා ගිය අඩිපාරට පිවිසියා. 1983 වසරේ එම පක්ෂයේ තරුණ සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ආරම්භ කළ ඒ ගමන සභාපතිවරයා දක්වාත් පැමිණීමට හැකිවුණේ අමල්ගේ සිතෙහි වූ දැඩි

කැපවීම, අධිෂ්ඨානය නිසාවෙන්. ඊට පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ඇයගේ ජයග්‍රහණය පතා කටයුතු කළ මේ තරුණ ගැටයාට නොසිතු විරූ ජීවිත තර්ජනයකට මුහුණදීමට සිදුවුණේ ඉබේමයි. 1988 – 89 තරුණ කැරැළිකාර සමයේ එල්ලවුණු මේ තර්ජනය නිසාම ඔහු කාලයක් තම මවුබිමෙන් වසන් වී ප්‍රංශයට ගියේ දැඩි අකමැත්තක් හිතේ තෙරපෙද්දී.

නැවතත් සිය මවුබිමට පා තබන අමල්, කාලයකට පසුව දරුවකු දැකීමෙන් සතුටු වන පියෙකු සේ සිය ‍ෙද්ශපාලනය බදා වැළඳ ගත්තේ දහසක් බලාපොරොත්තු සමගිනි.

“1991 වසරේ මහරගම සංවිධායකවරයා ලෙස මා පත් කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒ සියලු වගකීම් මට බාර දෙන්නේ යම් වගකීමක් ගත හැකි තරුණයකු ලෙසයි. ඒ වගකීම පිළිබඳ මගේ සිතේ කොයිතරම් පැළපදියම් වුණාද කිව්වොත් ඒ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණ 6 ක් අරගෙන ඒමේ හැකියාව ලැබුණා.

එතැනින් ඇරැඹුණු ඒ ගමනේදී මා එහි උපසභාපතිවරයා ලෙස කටයුතු කළා. 1993 දී පළාත් සභාවට ඉදිරිපත් වෙමින් ඉන් ජයග්‍රහණය කළ මා 1994 දී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මන්ත්‍රීවරයකු ලෙස ජය ගත්තා‍. එය මගේ ජීවිතයේ ලැබු අපූරු ජයග්‍රහණයක්. 1994 වනවිට මහජන එක්සත් පෙරමුණේ තිබුණු දේශපාලන බලය අභිබවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසට එම බලය තල්ලු කිරීමෙන්, පක්ෂයට කළ යුතු මගේ වගකීම ඉටුකළායැයි මට සතුටුවිය හැකිවුණා.”

එසේ සිය දේශපාලන ගමනේ දිග් විජය කළ අමල් සේනාධිලංකාර කාලයක් සිය දේශපාලන ගමනෙන් මදක් ඈතට ගමන් කරන්නේ ඉබේමයි.

එහෙත් දේශපාලනයට කරනා ආදරය නිසාම සිය ගමනේ ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස පසු පෙළින් සිටියත්, 2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයපතා අමල් නැවත දේශපාලනයට ඒකරාශී වන්නේ පෙර පුරුදු ජවය ඒකරාශී කරමින්.

ශ්‍රී ලංකාව පුරාම රැස්වීම් මාලාව මෙහෙයවීමේ සාමාජිකයන් අතර ප්‍රබලයකු ලෙස උරදෙන මේ අපූරු මිනිසාගේ කැපකිරීමට අපූරු තෑග්ගක් හිමිවන්නේ ඒ අතරෙදියි. ඒ නයිටා ආයතනයේ සභාපති ලෙසින් සිය භාරදූර වගකීම තවදුරටත් කර මත ඔසොවා ගන්නා මේ වගකීම් දරන්නා, ඉන් සමුගත්තේ වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස දිවුරුම් දීමටයි.

මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත්වී සිටින, වගකිව යුතු නිලයක් හොබවන්නෙක් ලෙස ඔහු මත පැවැරී ඇත්තේ වගකීම් රැසක්.

“මා පාර්ලිමේන්තුවේ සිටි කාලයේදී ලැබූ අත්දැකීම් ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් උකහා ගැනීමට හැකියාව ලැබුණා. ජනාධිපතිතුමා ආශ්චර්යමත් රටක් ගොඩනඟන අවස්ථාවේදී, එතුමාගේ එක් බලාපොරොත්තුවක් වන වෘත්තීය සඳහා පුහුණු ශ්‍රමිකයන්, යමක් දන්නා පිරිසක් ලෝකයට බිහි කරන්න ඕන කියන අදහස සඵල කිරීමේ වැඩපිළිවෙළක් අප ඉටු කරගෙන යනවා.

විශාල විදේශ විනිමය උපයන ආයතනයක් ලෙස එය උපයා දෙන ශ්‍රමිකයන් වෙනුවෙන් ඒ අයගේ පවුල් පිළිබඳ සොයා බලනා අපූරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඒ ‘රටවිරු’ සංවිධානය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි. ඔවුන්ගේ අපේක්ෂා ඉටුවෙලාද ඉටුවෙලා නැත්නම් ඔවුන්ට උදවු කරන්නේ කොහොමද? කියන මේ වැඩපිළිවෙළ බොහොම අපූරු වැඩපිළිවෙළක්.

මේ හරහා සිදුවෙන සියල්ල ක්‍රියාත්මක කිරීමට මා මගේ උපරිම වැර වෑයම යොදන්න කැමැතියි. මගෙන් අනාගත පරපුරට, පක්ෂයට සිදුවිය යුතු වගකීම නියමාකාරයෙන් ඉටු කරන්නටත්, අනාගතයේදී හොඳ ආර්ථිකයක් ගොඩනඟන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියටත් මා බැඳී සිටිනවා.

මගේ දේශපාලන දර්ශනය ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙන්. ඒ වගේම මේ සියලු දේ පසුපස සිටින යෝධ සෙවනැල්ල මගේ පියායි. ඔහුගේ දැවැන්ත සෙවනැල්ල මගේ ජීවිතයේ අවසානය පුරාවටම රැඳේවි.”

ඒ සෙවනැල්ල සේ ඔහුට ශක්තියක් වූ තවත් සෙවනැල්ලක් අමල්ගේ ජීවිත ගමනින් අත්වැල වී හමාරයි. ෂෙරානි සේනාධිලංකාරගෙන් අමල් සේනාධිලංකාරට ලැබෙන්නා වූ ඒ අපූරු ශක්තිය ඔහු සිහිපත් කරන්නේ සොඳුරු හැඟීම් හදවතට පිවිසෙද්දී.

“මගේ ජීවිතයේ සිටිනා අනෙක් සෙවනැල්ල ෂෙරානි බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඈ මට මුණගැහෙන්නේ විවාහ යෝජනාවකින්. මගේ මවගේ තේරීමක් වුණු ඇය, මට දයාබර බිරිඳක්. මා ලැබූ ජයග්‍රහණයන්හි වගේම පරාජයන් අතරදී මට ධෛර්යයක් වුණේ ඇයයි. බොහෝ දෙනා අමල් සේනාධිලංකාර නම් මන්ත්‍රීවරයා හැරයද්දී, ඒ සත්‍ය තේරුම් කරදීමට, තේරුම් ගැනීමට මට ශක්තියක් වුණේ ඇයයි.”

ජ්‍යෙතිෂ්‍ය පිළිබඳ යම් පිළිගැනීමක් ඔහු සතුයි. මන්ද ඒ සිය මෑණියන් නිතරම පැවසු කාරණයක් ඔහුගේ සිතෙහි ක්‍රියාත්මක වූ නිසා “පුතේ කේන්ද්‍ර බලලා මිසක් විවාහ වෙන්න එපා...”

රූමත් තරුණ ගැටවරයෙකු වූ අමල්ට ගැහැනු ළමයින්ගේ ඉඟිබිඟි ආරාධනා ඕනෑ තරම්. මේ සියල්ල පරදා ඔහු මවගේ අදහසට සිය එකඟත්වය පළ කළා. අද ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක්. ලොකු දුව දේවින්ද්‍රිය. දෙවැන්නා විරාජ්. තුන්වැන්නා රුක්ෂාරි.

සිය පුතු, දේශපාලනයට පිවිසි තම ගමන් මගේ ගමන් කරන්නේ නම්, ඔවුන්ට දෙන අපූරු උපදේශයක් ඔහුගේ මතකයට නැඟුණා.

“පුතේ හොඳට ඉගෙන ගෙන, මුදල් හම්බ කරලා දේශපාලනය කරන්න. දේශපාලනය කියන්නේ සේවයක්. ඒකෙන් හම්බ කරන්න සුදානම් වෙන්න එපා.”

ඒ ඔහුගේ දේශපාලන දර්ශනයේ එක් පැතිකඩක්. බුදුදහමට අනුව සිය දේශපාලන ගමන, ජීවිතය සකසා ගැනීමට වඩාත් උත්සහ විම ඔහු තුළ තිබෙන්නා වු අපූරු වෑයමක්.

“බුදුදහමට පිටුපා අපට ගමන් කළ නොහැකියි. එය අපගේ ජීවිතය අරගෙන එන්නේ ආලෝකයක්. ඒ ආලෝකය කොයි තරම් ද කියලා අපට හැඟෙන්නේ ඒ මාර්ගයේ කටයුතු කිරීමෙන් පමණයි. කොහොම නමුත්, කවුරු කොහොම කිව්වත් කවුද හරි ? මොකක්ද හරි ? කියන දේ අවබෝධ කර ගැනීමේ අපූරු ශක්තියක් මට තිබෙනවා.

නිවැරැදි තීරණ ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසාම වෙන්න ඇති එක් අවස්ථාවකදී අනුර බණ්ඩාරනායක ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට යන්න මට කතා කරද්දි මං නොයා සිටියේ නිවැරැදි තීරණ ගැනීමේ හැකියාව, ශක්තිය ගැන මට තිබෙන්නේ නිහතමානි ආඩම්බරයක්.”

සිය ගමනේ පැමිණි මාවත පිළිබඳ නිහතමානි ආඩම්බරයකින් සිය හදවත සරසා ගත් මේ මිනිසා, ඔහු වාසය කරනා පමුණුගම ප්‍රදේශයට ආඩම්බරයක්.

එපමණක් නොව, ඔහුගේ ශක්තියෙන් පෝෂණය වන රටටද ආඩම්බරයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා