වොට්සන්ගේ තුන් ඉරියව් දස්කමෙන් අයර්ලන්ත බලාපොරොත්තු බිඳ වැටෙයි

වොට්සන්ගේ තුන් ඉරියව් දස්කමෙන් අයර්ලන්ත බලාපොරොත්තු බිඳ වැටෙයි

ප්‍රින්ස් ගුණසේකර

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ‘බී‍‘ කාණ්ඩයේ ඕස්ට්‍රේලියාව සහභාගීවූ පළමු තරගයෙන් අයර්ලන්තය පරදවා කඩුලු 7ක ජයක් ලැබිය. ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් අයර්ලන්තය ඕවර් 20කදී කඩුලු 7කට ලකු‍‍ණු 123ක් ලැබූ අතර ඕස්ට්‍රේලියාව පන්දු 29ක් ඉතිරිව තිබියදී කඩුලු 3කට ලකුණු 125ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

තවමත් ටෙස්ට් වරම් දිනා නැති අයර්ලන්ත ක්‍රීඩකයෝ මෑත කාලයේ දක්වමින් සිටින ආකර්ශනීය ක්‍රීඩා විලාශය හේතුවෙන්,වෙනසක් සහිත අභියෝගයක් ඕස්ට්‍රේලියාවට ලබා දෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළද එය යථාර්තයක් බවට පත් කිරීමට ඔවුහූ අ‍පොහොසත් වූහ.

මෙවර විස්සයි 20 තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් පන්දු 30කදී ලකුණු 51ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වූ අතර ආරම්භක පන්දු යවන්නා ලෙසද අයර්ලන්ත පිතිකරුවන් තිදෙනෙකු දවා තුන් ඉරියව් දස්කම් දැක්වීම කැපී පෙනුණි. වොට්සන්ගේ අර්ධ ශතකයට හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුණි. 31වැනි විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් තරගයට පෙරේදා එක්වූ ඔහු ලබාගත් 8වැනි අර්ධ ශතකය මෙය විය.

අයර්ලන්තයේ පළමු කඩුලු හතර ලකුණු 33කට දැවී ගොස් තිබියදී නීල් හා කෙවින් ඕ‍‘බ්‍රෙයින් සහෝදරයෝ 5වැනි කඩුල්ලට ලකුණු 52ක සම්බන්ධතාවක් ගොඩනැගීම යම් සහනයක් විය.අයර්ලන්ත ඉනිමේ වාර්තාවූ එකම හයේ පහර ආරම්භක පිතිකරු පෝල් ස්ට්‍රලිංග්ගේ පිත්තෙන් වාර්තා වූයේ වොට්සන් එවූ පන්දුවකට ස්කුවෙයාර් ලෙග් හරහා එල්ල කළ දැවැන්ත පහරකිනි.

අයර්ලන්තය කඩුලු 7කට ලකුණු 123(20)

එඩ් ජොයිස් 16,නීල් ඔ‘බ්‍රෙයින් 20, කෙවින් ඔ‘බ්‍රෙයින් 35,( වොට්සන් 26/3,ස්ට්‍රැක් 20/2,මැක්ස්වෙල් 12/1,හොග් 22/1)

ඔස්ට්‍රේලියාව කඩුලු 3කට ලකුණු 125(15.1)

ඩේවිඩ් වොර්නර් 26,ෂේන් වොට්සන් 51,මයික් හසී 10,කැමරුන් වයිට් නොදැවී 22 (ඩොක්රේල් 31/1,කෙවීන් 18/1)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා