ක්ලිෆර්ඩ් කුසලාන රගර් ශූරතාවලිය 28දා ඇරැඹේ

ක්ලිෆර්ඩ් කුසලාන රගර් ශූරතාවලිය 28දා ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

සියවසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන මෙරට ඉපැරැණිතම රගර් තරගාවලිය වන ක්ලිෆර්ඩ් කුසලාන පිලිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලිය මේ මස 28වැනිදා ආරම්භ වේ.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට ශූරතාව අත්කර දෙමින් පසුගියදා නිමාවට පත්වූ ඩයලොග් අන්තර් සමාජ පළමු කොටසේ රගර් තරගාවලියේ දෙවැනි අදියර ලෙස සැළකෙන ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිලිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියට ලීග් තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4ත්, පළඟ ශූරතා වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4ත් අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග පැවැත්වේ.

1911වසරේ පළමු වරට ක්ලිෆර්ඩ් කුසලානය පිරිනැ‍මුණේ ශ්‍රී ලංකා කණ්ඩායමක් සහ එවකට මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමක් අතර පැවැති රගර් තරගයක ජයග්‍රාහකයන්ටය. එවකට ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් හෆ් ක්ලිෆර්ඩ් මහතාගේ බිරිය වන ක්ලිෆර්ඩ් ආර්යාව ‍විසින් ඒ තරගයේ ජයග්‍රාහකයන්ට ක්ලිෆර්ඩ් කුසලානය පිරිනමනු ලැබූවාය.

මේ තරගාවලිය අන්තර් සමාජ තරගාවලියක් බවට පත්වූයේ 1950 වසරේ දීය. ප්‍රථම අන්තර් සමාජ ක්ලි‍ෆර්ඩ් කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ ගෞරවය හිමිවන්නේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයටය. එකළ ලීග් ක්‍රමයට පැවැති මේ තරගාවලිය 1985වසරේ සිට පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියක් බවට පත්විය.

එදා මෙදා තුර ක්ලිෆර්ඩ් කුසලානය වැඩිම වාරයක් දිනාගැනීමේ‍ ගෞරවය හිමිවන්නේ පසුගිය වසරේ ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජයටය. ඔවුන් මේ ‍ඓතිහාසික කුසලානය 17වාරයක් දිනාගැනීමට සමත්විය.

සී.ආර්. පිල 13වාරයක් මේ කුසලානය අත්කරගත් අතර හැව්ලොක්ස් පිල 12වතාවකදීත්, පොලිස් ක්‍රීඩා සමාජය 8වතාවකදීත් ක්ලිෆර්ඩ් කිරුළ අත්කර ගත්හ. සී.එච්.පිලට අවස්ථා 6කදී ක්ලිෆර්ඩ් කුසලානය දිනාගැනීමේ වාසනාව හිමිවූ අතර දිඹුල ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර අවස්ථා 2කදී බැගින් මේ කුසලානය බෙදී ගියේය. ගුවන් හමුදාවට එක් වතාවකදි ක්ලිෆර්ඩ් කුසලානය දිනාගැනීමට අවස්ථාව උදාවිය.

තරග කාල සටහන

අර්ධ අවසන් පූර්ව වටය-

28දා -හැව්ලොක්ස්- ගුවන් - හැව්ලොක්ස් පිටියේදී, 29දා -මහනුවර ක්‍රී.ස.-සී.ආර්. - නිත්තවෙලදී, නාවික – පොලිස් හැව්ලොක්ස් පිටියේදී, 30දා-අප් කන්ට්‍රි ලයන්ස් - යුද බෝගම්බර පිටියේදී,

අවසන් පූර්ව වටය – පළමු තරගය - ඔක්තෝබර් 3දා- හැව්ලොක්ස් පිටියේදී - දෙවැනි තරගය – ඔක්තෝබර් 4දා ‍බෝගම්බර පිටියේදී,

අවසන් මහා තරගය – ඔක්තෝබර් 7දා -හැව්ලොක්ස් හෝ බෝගම්බර පිටියේදී

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා