චරිත කතා මඟින් සමාජයට බොහෝ දේ උගත හැකියි

චරිත කතා මඟින් සමාජයට බොහෝ දේ උගත හැකියි

සාගරිකා දිසානායක

සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘවරිය වන සාගරිකා දිසානායක විසින් රචිත “පුංචි කාලෙ මං” කෘතිය ඔක්තෝම්බර් 11 වැනි දින, එනම් හෙට සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කෙරේ. එම කෘතිය පිළිබඳ කතුවරිය සමඟ කළ සංවාදයකි මේ.

'පුංචි කාලෙ මං' ඔබගේ කුළුඳුල් කෘතිය. එහි අන්තර්ගතය පිළිබඳ කතා කළොත්?

මේ කෘතියේ අන්තර්ගතවෙලා තියෙන්නේ මා විසින් සිළුමිණ පුවත්පතට රචනා කළ ලිපි කිහිපයක එකතුවක්. සිළුමිණ පුවත්පතට සම්බන්ධ වීමෙන් පසු රටට දැයට වැඩ ඇති ප්‍රකට පුද්ගලයන්ගේ ළමා කාලය ගැන ලියන්නැයි සිළුමිණ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා මට ආරධනා කළා.

ඒ අනුව එම ආරාධනාව ඉතාමත් සතුටින් බාරගෙන, ප්‍රකට චරිතවල අප්‍රකට යටගිය තොරතුරු ආශ්‍රයෙන් විශේෂාංග ලිපි පෙළක් රචනා කළා. දැන් කෘතියක් ලෙස එළි දක්වන්නේ ඒ ලිපි එකතුවයි.

වර්තමානය වන විට බොහෝදෙනා මෙවැනි ලිපි ආශ්‍රයෙන් පොත් මුද්‍රණය කරනවා. මේ කෘතිය මඟින් ඔබත් ඒ රැල්ලට එකතු වෙනවද?

මෙවැනි කෘතියක් කරන්න මුලදි මගේ අදහසක් තිබුණේ නැහැ. මෙවැනි නිර්මාණයක් ජනතාව අතරට කොයිතරම් යයිද කියලා පොඩි බයකුත් මගේ හිතේ තිබුණා. ඒත් මගේ ලිපි කියවන පාඨකයන්ගෙනුත් ඉල්ලීමක් තිබුණා මේ ලිපි පෙළ එකතු කරලා කෘතියක් නිර්මාණය කරන්න කියලා.

ඒ වගේම අපේ කර්තෘතුමා වගේම, මගේ යාළුවොත් මේ සඳහා මාව දිරිමත් කළා. මෙය අනෙක් අය කරන නිසා කළ නිර්මාණයක් නොවෙයි. මේ කෘතියෙන් කුඩා දරුවන්ට වගේම, වැඩිහිටියන්ටත් ඉගෙනගන්න බොහෝ දේවල් තිබෙනවා.

මේ රටේ ප්‍රකට චරිතවල ළමා කාලයන්හි තොරතුරු සොයා යාමේදී, ඔබ ලබාගත් අත්දැකීම් මොනවාද?

ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ යටගිය තොරතුරු සොයා, ඒවා අන් අයට දැනගන්නට සැලැස්සීම ඇත්තෙන්ම අභියෝගයක්. මීට පෙරත් මං වෛද්‍යවරුන්ගේ, ව්‍යාපාරිකයන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ජීවිත කතා පිළිබඳ ලිපි රචනා කළා. රටට නිහඬ සේවයක් කරන එම පුද්ගලයන් පිළිබඳ ලියවුණු ලිපිත් බොහෝ සේ ජනප්‍රිය වුණා. ඊටපසුව තමයි මට මේ ජනප්‍රිය චරිතවල ළමා කාලය පිළිබඳ ලිවීමේ අවස්ථාව උදාවුණේ. මේ පුද්ගලයන්ගේ ජීවිතවල බොහෝදෙනා නොදන්නා පැති බොහොමයක් තිබුණා.

ඇතැම් වෙලාවට මම ඔවුන්ගේ කතාවලට පැය ගණන් සවන් දුන්නා. ඔවුන්ට සවන්දීම පිළිබඳ ඇතැම් අය බොහෝසේ සතුටු වුණා. ඒ සතුට ඇතැම්විට සිනහවෙනුත්, ඇස්වලින් ගලන කඳුළුවලිනුත් මං දැක්කා. එක් එක් පුද්ගලයන්ගේ අත්දැකීම් එකකට එකක් වෙනස්. මේ තොරතුරු සොයා පළාතෙන් පළාතට ගමන් කරද්දී, මං බොහෝ අත්දැකීම් ලැබුවා.

බාහිරින් බැලූ කල මේ කෘතිය ළමා කෘතියක් වගෙයි. මෙය ළමයින් උදෙසා නිර්මාණය කරන ලද්දක්ද?

මං මුලින් සඳහන් කළා වගේ මෙය ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ආදර්ශ සපයන කෘතියක්. මේ චරිත කතා කියවන ඕනෑම කෙනෙකුට ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන්. පිටරටවල චරිත කතා බෙහෙවින්ම ජනප්‍රියයි.

අපේ රටේ ඒ ප්‍රවණතාව ටිකක් අඩුයි. ඒත් මේ චරිත කතා ආශ්‍රයෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. එය ලොකු, පොඩි කාටත් පොදුයි. මං තෝරාගත් බොහොමයක් දෙනා ඉතාමත් පුංචි තැනකින් ආරම්භ කර ජීවිත ජයගත් පුද්ගලයන්. කුඩා කල ප්‍රශ්නවලට, අභියෝගවලට මුහුණදෙන ආකාරය පිළිබඳ හොඳ ආදර්ශයන් මේ චරිතවලින් ලබාගන්න පුළුවන්. විශේෂයෙන් ළමයින්ට මේ චරිත ආශ්‍රයෙන් ලබාගත හැකි ආදර්ශ බොහොමයි.

මේ කෘතියෙහි තිබෙන වෙනත් විශේෂත්වයන් මොනවාද?

මේ කෘතියෙහි අන්තර්ගත වන්නේ මෙරට ප්‍රකට චරිත කිහිපයක් පමණයි. ඒ චරිතවලින් ඇතැම් අයගේ ළමා කාලය පිළිබඳ මෙතෙක් කවුරුවත් කතා කරලා තිබුණේ නැහැ. ඔවුන්ගේ කතා හරිම සංවේදියි. මේ තොරතුරු සොයා යාමේදී ඇතැම් අය මට පින් දුන්නා. බොහෝ අයට ස්වයං චරිතාපදාන අඩුයි. ඒ නිසා ඒ පුද්ගලයන්ටත් මෙවැනි කෘතියක් මඟින් ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කිරීමට ලැබීම විශේෂ කරුණක්. මෙහි ඇතුළත් වන්නිලඇත්තන්ගේ කුඩා කාලය පිළිබඳ මෙතෙක් කවුරුවත් කතා කරලා තිබුණේ නැහැ. මේ කෘතියේ ඔහුගේ ජීවිතේ බොහෝදෙනා නොදන්නා කරුණු පිළිබඳ සඳහන් වෙනවා.

ඒ වගේම මේ කෘතියේ ඒ ඒ කාලවලට අදාළ සමාජ පසුබිම, අත්දැකීම් සමඟ බැඳුණු සමාජ සාරධර්ම, ඒ කාලවල පරිසරය ආදිය පිළිබඳත් සඳහන් වෙනවා. මෙය කියවද්දී පාඨකයා තුළ චිත්ත රූප මැවෙන ආකාරයට රචනා කිරීමට මං උත්සහ ගත්තා. මේ කෘතියේ එන චරිත රටේ විවිධ ප්‍රදේශවල අය. ඒ නිසා කෘතිය රචනා කිරීමේදී ඒ ඒ ප්‍රදේශවලට අයත් භාෂාවට ළංවෙන්නත් මං උත්සහ කළා.

පාඨකයන්ගේ පැත්තෙන් බැලුවහොත් මෙවැනි කෘතියක් කියවීමේ වැදගත්කම කෙබඳුද?

හොඳ චරිත කතා මඟින් පාඨකයන්ට බොහෝ දෑ උගත හැකියි. තමන්ගේ කටයුතුවලට වේලාව සකස් කර ගන්නා ආකාරය, බාධක හමුවේ නොසැලී ජීවිතය ජයගන්නා ආකාරය වගේම, වර්තමාන ජනතාව අතරින් ඈත් වෙමින් යන පරිසරයට සතා සිවුපාවාට ආදරය කරන හැටිත් මේ චරිත මඟින් ඉගෙන ගන්න පුළුවන්. අද කාලේ කුඩා දරුවන්ට අත්දැකීම් අඩුයි.

සමාජයේ පවතින තරගකාරී බව නිසා ඔවුන් යන්ත්‍ර බවට පත්වෙලා. ඔවුන් තුළ නිර්මාණශීලීත්වය හීනවෙමින් යනවා. ඒ නිසා මෙවැනි කෘතියක් කියවීමෙන් ඔවුන් දැක නැති සුන්දර පරිසරයක මිහිරියාව විඳගන්න පුළුවන්. ඔවුන්ට අලුතින් සිතන්න පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම යම්කෙනෙක් මේ චරිත ආදර්ශයට ගෙන තමන්ගේ ජීවිත සකස් කර ගන්නවා නම්, එය තමයි වැදගත් වන්නේ.

අද කියවීම සම්බන්ධව ළමයින් තුළ හොඳ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කෙබඳුද?

දරුවෙකුට කියවීම මඟින් පරිපූර්ණ මිනිසෙකු වෙන්න පුළුවන්. දරුවන්ව පුළුවන් තරම් කියවීමට හුරු කළ යුතුයි. වයස අවුු. 10 ට පෙර දරුවා තුළ කියවීමේ පුරුද්ද ඇති කළහොත්, අද බොහෝ දරුවන් මුහුණදෙන තනිකම, හුදෙකලාබව නැති කර ගන්න පුළුවන්.

ඒ වගේම ජීවිතේ අභියෝග ජයගන්නත් ඔවුන්ට හොඳ පන්නරයක් මේ මඟින් ලැබෙනවා. ඒ වගේම දරුවා කියවිය යුතු දේවල් නිවරැදිව තෝරා බේරා දීමත් මාපියන්ගේ වගකීමක්. අද දරුවන්ට ආදර්ශ ලබා ගතහැකි කෘති ඕනෑ තරම් තිබෙනවා. සරල ඉංග්‍රිසි පොත් කියවන්න දරුවා හුරු කරන්න. ඒවගේම පැරැණි සිංහල පොතපත අරන් දෙන්න. අද දරුවන් තුළ තිබෙන මානසික ව්‍යාකූලත්වය මඟහරවා ගන්න අපේ පැරැණි පතපොත උපකාර වෙනවා. ඒ වගේම ඒවා මඟින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය, දේශීයත්වය පිළිබඳ යහපත් පණිවිඩ දරුවාට ගෙන එනවා.

ඔබේ ලේඛන දිවියේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉදිරියේ දී ස්වයං නිර්මාණයක් කිරීමේ අදහසක් මා තුළ තිබෙනවා. කාටහරි රසවිඳිය හැකි, වෙනස් ආකාරයේ නිර්මාණශීලි යමක් සිදු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. එය ඇතැම්විට පරිවර්තනයක් වෙන්නත් පුළුවන්. මගේ පළමු නිර්මාණය “පුංචි කාලෙ මං” පාඨකයන් අතරට ගෙනයාමට මට සහයෝගය ලබාදුන් ෆාස්ට් පබ්ලිෂින් ආයතනයටත්, මගේ කර්තෘතුමා ඇතුළු ලේක්හවුස් කාර්ය මණ්ඩලයටත්, නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලු දෙනාට මං මේ අවස්ථාවේ ඉතා කෘතවේදීව සිහිපත් කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා