පැල්පත් වෙනුවට පුංචි ටජ්මහලක්

පැල්පත් වෙනුවට පුංචි ටජ්මහලක්

කොළඹ පුංචි - පුංචි කාඩ්බෝඩ් හා ටකරන් ගෙවල් නැතහොත් මුඩුක්කු හෝ පැල්පත් ඉන්දියාවේ ටජ්මහල් මාලිගාවටත් වඩා සශ්‍රීක හා රටට ගැළපෙන ජිවිතයට ගැගුම්බර ස්ථාන ඉවට පත් කිරිමේ ශක්තිමත් වැඩ පිළිවෙලක් ආණ්ඩුවට ති‍‍බේ. එය විහිලුවක් නොවේ. එම පරිවර්තනයට මඟ පෙන්විම දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි අපට සිතේ. අපි කොළඹ අස්සක් - මුල්ලක් නෑර ගමන් කළෙමු. පැල්පත් - මුඩුක්කු අතර දවස් ගණන් ගත කළෙමු. ඉනික්බිති අපට දැනුනු හෘදයාංගම විස්තරය මෙසේ සටහන් කර තබමු.

කොළඹ ජනාවාස ජනතාවගේ ගැටලුව සංකීර්ණය. අසීමිත ඉඩ ප්‍රමාණයක අසීමිත ජන ඝනත්වයට සැබෑ විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය වේ. මූලික වශයෙන් නිවසක් සහ මූලික පහසුකම්, සෞඛ්‍ය, අධ්‍යාපන සේවා සැපයීම අත්‍යවශ්‍ය වේ.

දරිද්‍රතාවයෙන් පෙළෙන කොළඹ නගරයේ ජනතාව හෝ අඩු ආදායම්ලාභී ජනතාව ලෙස සලකා විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබුණත් ඔවුනට ස්ථිරසාර විසඳුමක් ලැබී ඇති බව නොපෙනේ. තහඩු කැබලි, ඉටි රෙදි වැනි අවිධිමත් සෙවිලිවලින් එකිනෙකට බැඳී පවතින මුඩුක්කු, පැල්පත් සහ වතු නිවාස වශයෙන් වන මෙම සියලු ජනාවාසවල දිනෙන් දින වර්ධනය වී ඇත්තේ ජනගහනය පමණි.

මෙම සියලු ජනාවාස අනවසර ඉදිකිරීම් ය. දුම්රිය, මහාමාර්ග, ඇළ මාර්ග, බේරේ වැව ආදියෙහි රක්ෂිත ලෙස නඩත්තු කළ යුතුව ඇති සියලුම ප්‍රදේශවල ද අනවසරයෙන් පදිංචිව සිටිති.

ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා

වර්ග කිලෝමීටර් 650කට ආසන්න කොළඹ නගරයේ සියයට 10ක පමණ බිම් ප්‍රමාණයක ජනාවාස පවතී. නගරයේ කොට්ඨාස 47ක් 46කම ජනාවාස වෙති. වරාය සහිත සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් එම කොට්ඨාසයේ වූ ජනාවාස ඉවත් කර ඇත. ජනාවාස වැඩි ප්‍රමාණයක් ඇත්තේ කොළඹ උතුරු සහ මධ්‍යම කොට්ඨාසවලය.

මෙම ජනාවාස නගර අලංකරණයට ගැටලුවක් වුව ද, රජය වඩාත් අවධානයක් යොමු කොට තිබෙන්නේ මෙම ජනාවාස ජනතාවගේ නිවාස ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබාදීමට ය.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය එම ජනාවාස ජනතාවට ස්ථිර නිවාස ලබාදීම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළකි. නාගරික සංවර්ධන අධිකාරිය එය ක්‍රියාවට නංවයි. මෙම වැඩපිළිවෙළෙහි ඉලක්කගත ප්‍රජාව පවුල් 70,000කට ආසන්නය.

මූලික හඳුනාගැනීමේදී ඒකක ලෙස නිවාස 68712ක් වුව ද පවුල් වශයෙන් ගැනීමේදී 140,000ක් පමණ වේ. නිවාසයක් ලෙස ගැනෙන කුඩා සීමාවක පවුල් කීපයක් ජීවත් වීම මෙම ගණනය කිරීම්වලදී මතුවූ තවත් සංකීර්ණ ගැටලුවකි.

මෙම සමාජ කණ්ඩායටම වෙනස් වූ සංස්කෘතියක් තිබේ. ඇවතුම් – පැවතුම් සමාජ තත්ත්වය, ජීවන රටාව ඔවුන්ට ආවේනික වූවකි. ගැට කපන්නන්, තැරැව්කරුවන් කුලියට මිනී මරණ කණ්ඩායම් යන විවිධ නීත්‍යානුකූ®ල නොවන සමාජ විරෝධි අපචාර ක්‍රියාවල නිරත පුද්ගලයන්ගෙන් සියයට 90ක් පමණ බිහිවන්නේ මෙම අනවසර පදිංචිකරුවන් අතරිනි.

සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන පිරිමින් ඇතැම් පිරිසකගේ ජීවිත කාලයෙන් වැඩි දින ගණනක් ගතකරන්නේ බන්ධනාගාරවලය. බොහෝ කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශගත වී ඇත. දරුවන් බලාගන්නේ ආච්චි අම්මලාය. ඔවුන්ට වැඩිහිටි රැකවරණයක් නැත.

කුඩා දරුවෝ ඇතැම් අය පාසල් යති. පවුලේ බාල දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් පාසල් ගමන අතරමග නවතා දැමූ බාල වයස් දරුවෝ ද වෙති. ඇතැම් දරුවන් සුළු රැකියාවලට යොමු කර ඇත.

එහෙත් නිසි රැකවරණය නොමැති කුඩා ගැහැනු දරුවෝ අපයෝජනයට ලක්වෙති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඇතැම් පියවරුන් සිය කුඩා දියණියන් සල්ලාලයන්ට අලෙවිකොට මුදල් උපයති. එවැනි අසම්මත ව්‍යාපාරවල යෙදෙන මව්වරු ද සිටිති. ඇතැම් දරුවන් අපයෝජනයට ලක්වන්නේ පියාගෙනි. මෙම බොහෝ අපචාර ක්‍රියා පිළිබඳව පොලිසියට පැමිණිලි නොවෙති.

වරාය, රෝහල්, කොළඹ නගර සභාව, යන ආයතනවල, කම්කරුවන්ගෙන් වැඩි පිරිස මෙම ජනාවාස පදිංචිකරුවන්ය. මෙම ආයතනවල සේවා ලබාගැනීමේදී තැරැව්කරුවන් ලෙස ක්‍රියාකරන වැඩි පිරිස මේ අයයි.

හිමිදිරියේ සියලුම පිරිමි අය නිවෙස්වලින් පිටත්ව ගිය පසු කාන්තාවෝ එක්වී අල්ලාප - සල්ලාපයෙහි යෙදෙති. ඔවුන් අතර ඇතිවන සුළු බහින්බස්වීම් අවසන් වන්නේ ආරවුලකිනි. මෙම ජනාවාස අයත් පොලිස් බලප්‍රදේශවල පොලිසියේ සුළු පැමිණිලි අංශය පිරි පවතින්නේ මෙම අනවසර පදිංචිකරුවන්ගේ සුළු ගැටුම්වලින්ය.

නිවාස ඒකකයක් ලෙස ගැනුණද ඒවායෙහි ඇත්තේ කුඩා කාමර එකක් හෝ දෙකකි. මව්පියන් වැඩිහිටියන්, තරුණ තරුණියන්, කුඩා දරුවන්, සිඟිත්තන් මේ සියලුම අය ජීවත්වෙන්නේ මෙම කුඩා කොටස්වලය. ඒ නිසා ඔවුන්ට පෞද්ගලික ජීවිත නැත . දියුණු සාමාජයේ සදාචාරය, සමාජශීලිත්වය, ගරුත්වය, හික්මීම ඔවුහු නොදනිති.

මෙම නිවැසියන් කැළිකසළ බැහැර කරන්නේ ඇළ මාර්ගයටය. කාලවර්ණ පැහැ ගන්නා මෙම ඇළමාර්ගවල අපවිත්‍රතාවය සහ දුර්ගන්ධය සෞඛ්‍ය ගැටලු රාශියකටම බලපාති. විදුලිය ලබාගන්නේ නීති විරෝධී අන්දමටය. පොදු ජල කරාමයේ ජල පාලනයක් නැත. නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියා කිරීමට හෝ දැනුවත් කිරීමක් සඳහා කිසිම නිලධාරියෙකුට එම ජනාවාසවලින් විමසීමේ හැකියාවක් ද නැත. ඒ තරමටම බලවත්ය. එම සමාජ කණ්ඩායම මුළු මහත් සමාජයටම වෛර කරති.

මෙම පදිංචිකරුවන්ගේ නිත්‍යානුකූල නොවන සමාජ විරෝධි ව්‍යාපාර කොළඹ නගරයේ පමණක් නොව මුළු රටටම අවබෝධයක් ඇති සාමාන්‍ය ජනතාව මෙවැනි ස්ථාන අසලින් ගමන් කිරීම ද ප්‍රතික්ෂේප කරති.

ඒ අතර සාමාන්‍ය ජීවිත ගත කරන පිරිසක් ද සිටිති. එම පවුල්වල දරුවෝ පාසල් යති. තරුණ පිරිස් රැකියා කරති. මේ පිරිස් නිවාස අනන්‍යතාව හෝ පෙන්වීමට අකැමැතිය. මෙම සමාජයෙන් පමණක් නොව කොළඹ නගරයෙන්ම බැහැරවීමට උත්සාහ කරන පිරිසට නිවෙසක් ගොඩ නගා ගැනීමේ හැකියාවක් නොමැත.

දිනෙන් දින සංකීර්ණ වන මෙම සමාජ ගැටලුව සැබෑ ලෙසම හඳුනා ගැනීමම පුණ්‍යවන්ත කටයුත්තකි. නාගරික පුනර්ජීව ව්‍යාපෘතිය අභ්‍යන්තරය සැබෑ ලෙසම ගවේෂණය කිරීමෙන් සකස් කරන ලද ක්‍රමෝපායකි. නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදීමෙන් ඒ සමඟ බැඳුණු බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි බව රජය අවබෝධය කරගෙන තිබේ.

රටේ සියලු ජනතාවට වඩා හොඳ පරිසරයක හොද නිවාසයක ජීවත්වීමට අවස්ථාව සලසාදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝක ජනාවාස සැමරුම් දින උත්සවයේදී පැවසීය.

වර්තමාන වැඩිහිටියන් මුහුණ දෙන ගැටලු අනාගත පරපුර වෙත ඉතිරි නොකරන බව ජනාධිපතිතුමා පැවසුවේ උතුරු නැගෙනහිර යුදමය තත්ත්වයක් පැවැති කාලයේදීය. යුද්ධයෙන් පීඩා විඳී දරුවන්ට දැන් අනාගතයක් තිබේ. නිවැරදිව හඳුනා ගනිමින් හා නිවැරදි නායකත්වයෙන් ගැටලු නිරාකරණය කරන අයුරු ජනාධිපතිතුමා මුළු ලොවටම පෙන්වා දී තිබේ. දරිද්‍රතාවය සමඟ බැදුණු නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම තවත් මෙහෙයුමකි.

අනවසර පදිංචිකරුවන් වුව ද මෙම නිවැසියන් හා දරුවන් වෙනුවෙන් ඉටුකළයුතු සමාජ වගකීමක් තිබේ. අලුත් සංවර්ධන සැලැස්මට අනුව මහල් නිවාස 12ක නිවාස දසදහසක් මුල් අදියරේදී ඉදි කෙරෙති. මට්ටකුලිය,හේනමුල්ල, අළුත්වත්ත,පර්ගියුසන්,එදිරිසිංහවත්ත,දෙමටගොඩ 54 වත්ත, 66 වත්ත, බ්ලුමැන්ඩල් සිරිල් සී පෙරේරා මාවත, මාළිගාවත්ත, කොලොන්නාව, සාලමුල්ල, මහල් නිවාස ඉදි කෙරෙන ස්ථාන වේ.

ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා නිවාස ව්‍යාපෘතීන් නිරීක්ෂණය කරමින්

ජලය, විදුලිය, මූලික පහසුකම් සහිත එක් නිවෙසක වටිනාකම මිලියන 3 ක් පමණ වේ. මුළු නිවාස ව්‍යාපෘතිය සඳහා පිරිවැය බිලියන 300කි. අඩු පහසුකම් ඇති ජනතාවට මෙම ව්‍යාපෘතිිය මඟින් සැලසෙන වාසිදායක ගණනාවකි.

මුලින්ම පවුලකට ස්ථිර නිවාසයක හිමිකම ලැබේ. නිත්‍යානුකූල අයිතිය පැවැරෙනු ඇත. විශේෂයෙන් දරුවන් කෙරෙහි අවධානයක් යොමුකර තිබේ. අධ්‍යාපන කටයුතු සහ ළමා ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැපයේ. විශේෂයෙන් ළමයින් සුරක්ෂිත කිරීම අපේක්ෂා කරයි. තරුණ හා වැඩිහිටි කොටස්වල ආකල්පමය වෙනසක් ඇතිවේ.

අනෙකුත් සමාජයන් සමඟ ගැටීමේදී ජීවන රටාව හැඩගස්වා ගැනීමට උත්සාහ ගනු ඇත. ජල – විදුලිය - වරිපනම් බදු, නඩත්තු කටයුතු, නිවාස සංකීර්ණ කළමනාකරණ වගකීම් පැවරෙන විට මේ සමාජ කණ්ඩායම්වලට ජීවන රටාව වෙනස් කිරීමට අනිවාර්යෙන් සිදුවනු ඇත. ඒ නිසා ඔවුන්ට කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් කෙරෙහි ද අවධානය යොමුකරන්නට සිදුවේ. තමන්ගේම නිවසක එදිනෙදා වැඩකටයුතු සමඟ ආදායම් , වියදම්, කළමනාකරණය වැනි අවස්ථාවක් යෙදෙන විට සමාජ රටාව වෙනස් වී සුබදායක තත්වයක් ඇතිවෙනු ඇත.

පැල්පත් නගරයෙන් ඉවත්වීම පොදුවේ රටටත්, ජනතාවටත් සුබදායක වේ. ජනාවාස ඉවත් කිරීමෙන් හිස්වන රක්ෂිත, අලංකාර කිරීමටත් අනෙකුත් ඉඩම් ජාතික සැලැස්මට අනුව ප්‍රශස්ත මට්ටමේ සංවර්ධනයක් සඳහා යෙදවීම නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්මයි. ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යංශය මඟින්ද නිවාස වැඩපිළිවෙලකි.

මුඩුක්කු පැල්පත් වතු නිවාස ලෙස මෙම ජනාවාස බිහිවූයේ එක රැයකින් නොවෙයි. කොළඹ වරාය කටයුතු දියුණුවීමත් සමඟ වරාය ආශ්‍රිත ශ්‍රමිකයින්ට නවාතැන් පහසුව ලබාදීම මේවායෙහි ආරම්භයයි. වරාය රාත්‍රි සේවා මුරය කළ වරාය කම්කරුවන්ට ආහාර සැපයුවේ වනාතමුල්ලේ බත් අම්මාය. මෙම ප්‍රදේශවල කුලී කාමර ගෙන නැවතී සිටි වරාය කම්කරුවන් සඳහා අත්හැර දමා තිබූ රජයේ ගොඩනැගිලි කොටස්වල පදිංචි කරන්නට ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.

පසු කලෙක රුපියල් 15,000ක් බැගින් ගෙවමින් අත්තම් නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවා ඇත. පසුව පැවැති රජයන් වල විවිධ නිවාස ක්‍රම යටතේ වතු නිවාස, පැල්පත් නිවාස බිහිවී තිබේ.

මෙම අවිධධිමත් නිවාස පිළිබඳව වගකීම පැවරෙන්නේ කොළඹ නගර සභාවටයි. මෙම නිවාස ගැටලුව වඩාත් සංකීර්ණ කොට තිබෙන්නේ නගර සභාවේ සහ ප්‍රාදේශීය දේශපාලන නායකත්වය විසින්ය. පටු පරමාර්ථ පෙරදැරිව ඡන්ද පදනම සඳහා වරිපනම් අංකයක් ලබාදීමට කුමක් හෝ කාමරයක් නිවාස ඒකකයක් විදියට සකස්් කර තිබේ.

දශක 4ක් පමණ පුරා නිරීක්ෂණ උපාය මාර්ගවලින් පමණක් අසාර්ථක විසඳුම් ලබාදීම නිසා අසීමිත ජනගහනයක් පමණක් වර්ධනය වී ඇත. දේශපාලන අනුග්‍රහය මත ඉදිකිරීම් සිදුවුව ද මැතිවරණ කාලයට පමණක් දකින දේශපාලනඥයින් නිසාම නිවාස ව්‍යාපෘති පිළිබඳව ඔවුන්ට විශ්වාසයක් ද නොවෙති. අභ්‍යන්තර නිරීක්ෂණයන් මඟින් ක්‍රමෝපායක් සකස් කිරීම, හා ඔවුන් වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීම හේතුවෙන් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යථාර්ථයක් බව ප්‍රතිලාභීහු පවසති.

රාජ්‍ය ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවාස ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින්

මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් ඉදිරිපත් කරන ලද සෑම පවුලක්ම නිවසක් හිමි පවුලක් විය යුතුය යන සංකල්පය යථාර්තයක් බව‍ට පත් කෙරෙන අඩු ආදායම්ලාභීන් සඳහා නව නිවාස ලබා දීමේ විසල් ව්‍යාපෘතිය කොළඹ නගරය තුළ දැන් ක්‍රියාත්මකයි.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ අඩු පහසුකම් ලබමින් ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීමත්, එමගින් ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලමින් උසස් සමාජ තත්වයක් ලබා දීමයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, මහතා අදහස් දක්වමින් අඩුපහසුකම් සහිත සියලු නිවාස සඳහා සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ මහල් නිවාස දෙස් - විදෙස් ඉදිකිරීම් ආයතනවල ඉදිකිරීම් කටයුතුවලට අනුව ඉදිකර ඇති බව පවසයි.

විශේෂ ස්තූතිය

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා අධ්‍යක්ෂ ‍‍‍ජෙනරාල් නිහාල් ප්‍රනාන්දු , අතිරේත අධ්‍යක්ෂ ‍‍ජෙනරාල් බ්‍රි‍ගේඩියර් සමන්ත ජයසුන්දර සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ එචි.ජී.ඩී.ජයතුංග යන මහත්වරුන්ට

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා