පාරිභෝගිකයා මුලා නොකරනු!

පාරිභෝගිකයා මුලා නොකරනු!

ආර්ථික විද්‍යා න්‍යායන්ට අනුව මිනිස් අවශ්‍යතා විවිධ ය. අසීමිත ය. අසීමිත වුවමනාවන් අතර මූලිකම අවශ්‍යතාව වන්නේ ආහාර ය. මිනිසා නිරෝගීමත්ව ජීවත් වීමට නම් ආහාරයට ගත යුත්තේ පෝෂණ ගුණයෙන් යුත් පිරිසුදු, නැවුම් ආහාර ය. බටහිර රටවල පවා ආහාර පිළිබඳ මූලික අවධානය යොමු කර ඇත්තේ සමස්ත ජනතාවගේම නිරෝගී භාවය රටේ ආර්ථිකයට දැඩිව බලපාන නිසා ය.

නිරතුරුවම නැවුම් එළවළු, පලතුරු ආහාරයට එක් කර ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් පවා ලැබුණ ද, අවාසනාවට අපේ රටේ ජනතාවට අලුත් පලතුරක්, එළවළුවක් තබා පළා කොළයක් සොයා ගැනීමට රට පුරා කරක් ගැසුවත් බැරිය. සෑම තැනකම විකිණීමට ඇත්තේ ප්‍රමිතියෙන් තොර බාල ආහාර ද්‍රව්‍ය ය. කුණු වූ කරවල, මාළු, තැළුණු එළවළු, පලතුරු තොග පිටින් අලෙවියට තබා ඇත. ඒවායින් හමන අප්‍රසන්න දුඟදින් ආහාර ද පිළිකුල් වේ.

අතට ලැබෙන සොච්චම් මුදලින් සුපිරි වෙළෙඳසල්වලින් බඩු මිලදී ගැනීමට හැමටම නොහැකි ය. මධ්‍යම පාන්තිකයන් වැඩි පිරිසක් එළවළු ටිකක්, පලතුරු ටිකක් හෝ අල, ලූුනු, පරිප්පු මිලදී ගන්නේ සාමාන්‍ය සිල්ලර කඩයකිනි. එසේත් නැතිනම් අලුත්, පිරිසුදු බඩු, සාධාරණ මිලකට ලබා දෙන, විශ්වාසවන්ත තැනකින් ය. අභාග්‍යයකට මෙන්, එහෙම තැන් පිළිබද අද අසන්නට ලැබෙන්නේ කනගාටුදායක පුවත් ය. වෙළෙඳ පොළේ දී අලෙවියට තැබූ කුණු වූ අල, ළූණු තොග පිටින් අත්අඩංගුවට ගනී. කුණු කරවල කිලෝ ගණන් අල්ලා ගනී. පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගත් සතොස ආයතනය කල් ඉකුත් වූ ළූනු විකුණයි. කුණු අල විකුණයි. ළූනු ගෙඩි තුළ පණුවන් ද ඇත. පාරිභෝගිකයාට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගුණාත්මක, ප්‍රමිතියකින් යුතුව සාධාරණ මිලකට අලෙවි කිරීම අරමුණු කර ගත් ජනතාවගේ ආයතන තුළත්, මෙවැනි වංචා, අසාධාරණකම් සිදුවේ නම්, මෙරට පාරිභෝගිකයන්ට ඉතිරි වන්නේ දෙවියන්ගේ පිහිට පමණි.

වෙළෙඳාම යනු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් එක් අයෙකු තවත් අයෙකුට ලාභයක් පදනම් කරගෙන කරනු ලබන ගනුදෙනුවකට ය.

එහි දී රටේ ජනතාවට පාරිභෝගිකයන් වශයෙන් තත්ත්වයෙන් හා ගුණයෙන් යුක්ත ගෙවන මිලට සරිලන භාණ්ඩ අලෙවි කළ යුතු ය. එහෙත් අපේ රටේ නම් මිල ඉහළ ගියත් ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍යවල ගුණාත්මක භාවය නම් ඉහළ යන්නේ නැත. අද යුගයේ පාරිභෝගිකයන්ට මුහුණ පෑමට ඇති බරපතළ ම අභියෝගය වන්නේ ද එයයි.

අතීතයේ විසූ අය තමන්ගේ අවශ්‍යතාවට සරිලන ලෙස එළවළු, පලතුරු තමන්ම නිපදවා ගත්හ. ඔවුන්ගේ දිවි පෙවත ඉතා නිරෝගීමත් ය. ඔවුන් කෑමට ගන්නා ලද්දේ වස විසෙන් තොර ආහාර ය.

එහෙත් අද අපට කෑමට ඇත්තේ වස විස ය. හැම දෙනාටම වවන්නට බැරි ය. වැව්වත් පරිප්පු, සීනි හා අනෙකුත් ද්‍රව්‍ය වෙළෙඳ පොළෙන් මිලට ගත යුතු ය. එහෙත් වෙළෙඳ පොළ තුළ ඇත්තේ ඩයි දැමූ පරිප්පු ය. වතුර දමා තෙත් කර, ඒ මගින් බර වැඩිකර විකුණන සීනි ය. ඒ මදිවාට ඒවාට දැන් වැලිත් එකතු කරනු ලැබේ. කුණු අල, කුණු කරවල ය. නිලධාරීන් හා වෙළෙන්ඳන් පවසන්නේ මේවා අතපසුවීම් හෝ බැරිවීම් ලෙස ය.

රටේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතාව සරි කිරීමේ දී බැරිවීම්, අතපසුවීම් තිබෙන්නට බැරි ය. එවිට වන්නේ රෝහල්වල රෝගීන් පිරී යාම පමණි. වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි. එළවළුවලට මැසි තෙල් යෙදීම, නිවුඩු සහල් රතු කිරීමට ඩයි යෙදීම මේවා නොදැන ආහාරයට ගන්නෝ පිළිකාවලට හා වෙනත් දරුණු රෝගාබාධවලට බදුන් වීම සත්‍ය වශයෙන් සිදු වන්නකි. අපේ රටේ ප්‍රධාන ආහාරය වන බත් පිස ගන්නා සහල් කල් තබා ගැනීමට ද විස වර්ග මිශ්‍ර කරයි. වර්තමානයේ පොඩි දරුවෙකුට ඇපල් ගෙඩියක් දීමට බැරි ය. ඒ තරමට තැලී, කුණු වූ ඇපල් තොග පිටින් විකුණයි. තැළුණු තැන්වලට ලේබල් අලවා පාරිභෝගිකයා මුලාවේ දමමින් මොවුන් කරන මේ දේවල් නොදැන කරන වැරැදි ලෙස අර්ථ දැක්වීම මොනතරම් ඛේදජනක තත්ත්වයක් ද?

1979 පාරිභෝගික ආරක්ෂක පනතේ විධිවිධානයන්ට අනුව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම, සාධාරණ වෙළෙඳ ආචාර ක්‍රම උපයෝගී කර ගැනීම අනිවාර්යය. එමෙන්ම වෙළෙඳාම අවංකව කරන බවටත්, භාණ්ඩ හා සේවාවල වටිනාකමට සරිලන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය පහසුකම් ලබා දීමත්, ඒ මගින් රටේ සංවර්ධනයට හා සමාජයේ පදනම ශක්තිමත් කිරීම හා සාධාරණ වෙළෙඳ සමාජ පසුතල ඇති කිරීමට ඕනෑම රජයකට විශාල වගකීමක් පැවැරී ඇත.

මේ වගකීම ඉටු කිරීම සඳහා නීත්‍යානුකූල අණ පනත් සකස් කර පාර්ලිමේන්තුව මගින් සම්මත කරවා, එය රටේ පාරිභෝගික ආරක්ෂාව සඳහා ඇති නීතිරීතීන්ට සම්බන්ධ කර ගැනීම පමණක් නොව, පාරිභෝගිකයන් කූට වෙළෙඳුන්ගෙන් ආරක්ෂා කරදීම සඳහා එම නීති ක්‍රියාත්මක කළ යුතුවේ. තවද වැරැදිකරුවනට දැඩි දඬුවම් පැමිණවිය යුතු වේ. අධික ලාභ බලාපොරොත්තුවෙන්, ප්‍රමිතියෙන් තොර බාල ආහාර ද්‍රව්‍ය විකුණන, ජනතාවට කුණු කවන නිලධාරීන් ගෙන් පරිභෝගිකයා ආරක්ෂා කර ගත යුතුය. පාරිභෝගිකයා ඇන්දවීම යනු බලවත් පාපයකි.

වෙළෙඳසලකට ගොඩවන පාරිභෝගිකයා මිලට ගන්නා සෑම භාණ්ඩයක්ම පරීක්ෂා කරන්නේ නැත. එහෙම කරන පාරිභෝගිකයාට වෙළෙන්දාගෙන් ලැබෙන්නේ රැවුම් ගෙරවුම් ය. එතනින් ම පාරිභෝගික අයිතිවාසිකමක් උල්ලංඝනය වී යයි. එබඳු පරීක්ෂාවකට ඉඩ නැති පාරිභෝගිකයා, බඩු ගෙන මිල ගෙවා ගෙදර යයි. පවතින ජීවන වියදමට අනුව මහන්සියෙන් උපයා සපයා ගන්නා මුදල් ගෙවා රැගෙන යාමට වී ඇත්තේ විස යෙදූ සහල්, තැළුණු එළවළු, පලතුරු හා කුණු අල හා ළූනුය. ලාභ බඩුවල හිලක් තිබේ යැයි ප්‍රස්ථා පිරුළු දැන් වෙනස් විය යුතු කාලය එළැඹ තිබේ. ලාභ බඩුවල පමණක් නොව, දැන් විකුණන සෑම දෙයකම යථාර්ථය එය බැවිනි.

අධික මිලක් ගෙවා කුණු බඩු ගෙන ගොස් ලෙඩ සදා ගැනීමට පාරිභෝගිකයාට බැරි ය. උපයා ගන්නා මුදල අනවශ්‍ය ලෙස වියදම් වීමෙන් කෑමටවත් ප්‍රමාණවත් නොවන විට, ලෙඩට බෙහෙත් ගන්නට මුදල් ඉතිරි වන්නේ නැත. එවිට මෙවැනි කුණු කනවාට වඩා බඩගින්නේ මැරෙන එක සැපතක් ලෙස පාරිභෝගිකයාට සිතීම අරුමයක් නොවේ. පාරිභෝගිකයා තුළ තිබූ විශ්වාසය දැන් පළුදු වී හමාරය. සමුපකාරය, සතොස, පිටකොටුවේ තොග කඩ පිළිබද පැවැති විශ්වාසය මේ වනවිට ජනතා සිත්වලින් තුරන් වෙමින් පවතී. ඒ පිළිබද ජනතාවට ඇත්තේ බලවත් කලකිරීමකි, සැකයකි, රටටම භාණ්ඩ සපයන ආයතන ලෙස විශ්වාසය දිනූ ආයතන සමස්ත ජනතාවම මුලාවේ දැමීම බලවත් අසාධාරණයකි.

අද කුණු අල සොයා ගනී. හෙට වැලි දැමූ සීනි විකුණයි. අනිද්දා ඩයි දැමූ සහල් හා පරිප්පු විකුණයි. මේ වංචාවට අවසානයක් නැත. එහෙත් මෙය අවසන් කළ යුතු ය. එය පාරිභෝගිකයාගේ අවසානය නොවිය යුතු ය. කූට වෙළෙඳුන් හා ඔවුන්ට උල්පන්දම් දෙන පුද්ගලයන්ට දඩුවම් කළ යුතුය.

පාරිභෝගිකයන් නොමඟ යවා මේ ආකාරයෙන් කුණු බඩු විකිණීම සාධාරණ ද? මේ තරම් ජනතාවට ජරාව කවන්නේ, ජනතාව ඌරන්ගේ තත්ත්වයට වැටී ඇතැයි සිතා ද? පාරිභෝගිකයා ඉල්ලා සිටින්නේ අලෙවි කරන මූලික ආහාර ද්‍රව්‍ය ටික හෝ ගුණාත්මකව, සාධාරණ මිලකට ලබා දෙන ලෙස ය. ඒ සඳහා විධිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාලකයන්ගේ අවධානය යොමු විය යුතු කාලය දැන් එළැඹ තිබේ. නැතිනම් අසරණ වන්නේ අහිංසක පාරිභෝගික ජනතාව ය.

මේ ආකාරයෙන් දුරදර්ශීව කටයුතු කළ හොත්, දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ අනාගතය සෞභාග්‍යමත් වන බව නො අනුමාන ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා