දරුවන්ට හිංසා නොකරත්වා

දරුවන්ට හිංසා නොකරත්වා

අප ජීවත් වන්නේ බුදුන් දෙසූ ධර්මය අදහන, ධාර්මික බෞද්්ධයන් වෙසෙන රටක ය. සෑම පොහොයකට ම සිල් සමාදන් වන උවසු උවැසියන් සිටින, නිතිපතා ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් ධර්මය අසන්නට ලැබෙන රටක ය. ගමක් ගමක් පාසා දහම් පාසල් ය. නිරන්තරයෙන් දහම් පොත පත ප්‍රකාශ වන, ඒවා පරිහරණය කරන මිනිසුන් වෙසෙන සමාජයක ය. ඒ මදිවාට බොහෝවිට ඇසෙන්නේ පිරිත් දේශනා අසන මිනිසුන් ය. පිරිත්, ධර්මදේශනා සංයුක්ත පට මෙන් ම, කැසට් පට ද බෙහෙවින් අලෙවි වන සමාජයක ය. උදේට ගෙදරින් පිටවන විට මවට, පියාට වැඳ නිවෙසින් පිටවන, වැඩිහිටියන්ට ගරු කරනවා යැයි පෙන්වන මිනිසුන් අතරය. නිවාඩුවක් ලද විගස, වන්දනා ගමනක් යාමට සිත් පහළවන සැදැහැතියන් සිටින රටක ය. මේ කුමන දේ කළ ද දිනපතා සමාජයේ අසන්නට, දකින්නට ලැබෙන සිදුවීම් අනුව ධර්මය අනුව දිවි ගෙවන්නන් සිටිනවා ද යන්න සැක සහිත තත්ත්වයක් උදාවී තිබේ.

නව වසර එළැඹී ගතව ඇත්තේ තවමත් දින කිහිපයක් පමණකි. මේ දින කිහිපය පිළිබඳ අවධානය යොමු කරන විට අපට අසන්නට ලැබුණේ ඛේදජනක සිදුවීම් මිස, සොඳුරු අත්දැකීම් නොවේ. වසර ඇරැඹී ගෙවී ගිය දින කිහිපය තුළ, මේ පුංචි රට තුළ මිනිසුන්ගේ ජීවිත කීයක් මරු තුරුළට බලෙන් කැඳවාගෙන ගියා ද? මේ පැනයට ලැබෙන පිළිතුර, ඔබේ හද කම්පා කරවනවාට සැක නැත. ඒ මිනීමැරුම් කළෝ කවුරු ද? එය අසන ඔබ නැවත වරක් කම්පාවට පත්වනවා නම් නො අනුමාන ය. ඇයි එහෙම දෙයක් සිදු වුණේ? ඒවාට වගකිව යුත්තේ කවුද? මෙවැනි දේවල් සිදුවන්නේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකට ම ලැබෙන පිළිතුරු ඔබ හද කලඹනවා නියත ය.

තමන් ගේ ලෙයින් උපන්, කිරි සිනා නංවන බිලිඳියකගේ කෙළිලොල් සමය දැකගන්නට සෑම මවක් ම, පියෙක් ම බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. කුඩා කල සිට දරුවකු රැකබලා ගන්නේ වැස්සෙන්, පින්නෙන්, අව්වෙන්, දූවිල්ලෙන් හානියක් නොවන ආකාරයට ය. එහෙත් පසු ගිය කාලයේ අසන්නට ලැබුණු පුවත් ඔබ හද සසල කළා නම් නො අනුමාන යි. මෑත කාලයේ පියවරු දෙදෙනකු ම තම දරුවන්ගේ ජීවිත මෙලොවින් තුරන් කර දැමීමට කටයුතු කිරීම මොන තරම් ඛේදජනක ද? එකෙකු තම දරුවාගේ ගෙල සිරකර මරා ගිනි තබද්දී, අනෙකා අවුරුදු එක හමාරක් වයසැති දියණියගේ හිසට බඩට පයින් ගසා, අත කඩා, අසූචි කවා මරා දමයි. මෙවැනි දෙයක් කිරීමට පාපතරයකුට හැර වෙන කිසිවෙකුටවත් නම් හැකියාව නොලැබෙනු ඇත.

තම දරුවන්ගේ අහිංසක මුහුණු දකිද්දී මෙවැනි දෙයක් කිරීමට තරම් සිත් කුරිරුවීම කෙලෙසින් නම් විග්‍රහ කරන්නද?

දරුවකුට නොව, සතෙකුට පවා හරිහැර කරන කෙනෙකු දකිනවිට අපේ සිතට ඇතිවන්නේ දැඩි කලකිරීමකි. පිළිකුලකි. දරුවකුට හිරිහැර කරනු දැකීම නොව, ඇසීම පවා හිතට ඇති කරවන්නේ කම්පාවකි. වැඩිහිටියන්ගේ වැරැදිවලට, දරුවන්ගේ ජීවිතවලින් පළි ගැනීම මොන තරම් නම් නරක ක්‍රියාවක් ද? කාමයට ලොල් වීම; පර පුරුෂ සේවනය, පර ස්ත්‍රීන් වෙත යාම පිරිහීමට තුඩුදෙන කරුණු බව බෞද්ධ දේශනාවල සඳහන් වේ. අපට මෙලෙස පෙන්නුම් කරන්නේ එහි විපාක නොවේද? මෙවැනි අධමයන්ගේ කතා ඇසීමට ලැබීම පවා අප කළ පවකි. අපගේ සිත් එලෙස කම්පා වුවත්, තම දරුවන් පිළිබඳ එම පියවරු තුළ එවැනි අනුකම්පාවක් ඇති නොවුණේ කෙසේ ද? මෙය සැබවින් ම විමැසිය යුතු කරුණකි.

උපන් දා සිට ම ගුණදම් පිළිබඳ ඉගෙන ගන්නා, ධර්මයේ හැසිරෙන මිනිසුන්ට සිදුව ඇත්තේ කුමක් ද? මෙසේ වීමට හේතුව කුමක් ද? අනාගතයේ මෙවැනි ඛේදජනක සිදුවීම් පිළිබඳ නො අසන්නට නම් අප කළ යුත්තේ කුමක් ද?

පාසලෙන්, දහම් පාසලෙන් මුල් කාලයේ සිට ම ගුණ නුගුණ කියා දෙනවාට අමතරව, මේ මගින් වන ආදීනව ද මිනිසුන්ට කියා දෙනු ඇත. එනමුදු සමාජය ගමන් කරන්නේ වෙනතකට ය. මිනිසුන්ගේ සිත් තුළ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය වැනි මනුදම් යටකරගන කාමාශාව පිබිදී ඇත. ඒ වෙනුවෙන් තම දරුවන් වුව මරා දැමීමට තරම් ඔවුන් ගේ සිත් දැඩිවී ඇත. අපට නීතියක් ඇත. ඒ නීතිය තුළින් පැන යාමට කිසිවෙකුටත් ඉඩක් නැත. මිනී මරුවන්ට ගැලවී යාමට කිසි විටෙකත් ලැබෙන්නේ නැත. ආගම දහම අනුව කලකම් මේ ජීවිත කාලය තුළම පල දෙනවා නො අනුමාන ය.

ආගම දහමෙන් මෙන් ම, නීතිය පිළිබඳව ද මිනිසුන්ට දැනුමක් ලබාදීමට ක්‍රියා කළ යුතු ය. දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගම් මට්ටමෙන් පෙළ ගැසිය යුතුව ඇත. ආගමික අංශයෙන් මෙන් ම, සමාජයේ අනෙකුත් අංශවලින් ළමයින් ගේ සුරක්ෂිතතාව සඳහා අවැසි පියවර ගත යුතුව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා