පත්තර නවකතා විගඩමක් වෙල‍ා

පත්තර නවකතා විගඩමක් වෙල‍ා

චන්ද්‍රසිරි දොඩංගොඩ

l “අවපෑළවිය” නවකතාව ලියන්න පෙලඹුණේ, පුවත්පතෙන් හිමිවුණ ජනප්‍රිය බව නිසාද?

හුඟක් වෙලාවට මාව හංවඩු ගැහිලා තිබෙන්නේ පුවත්පත් සඳහා නවකතා ලියන්නෙක් විදිහටයි. මම පත්තරේට ලිව්ව මුල්ම නවකතාව “පූජාසනය”යි.ඒකෙන් තමයි මට පත්තරකාරයා කියන අනන්‍යතාවට අමතරව නවකතාකාරයා කියන හැඳින්වීම ලැබුණේ. දැනට මං නවකතා දොළහක් විතර ලියලා තිබෙනවා.

එයින් පහක්ම මුලින්ම කියෙව්වේ පත්තරේ පාඨකයෝ. ඒවා පොත් හැටියට එළිදැක්කේ දෙවනුවයි. මේ නවකතා යම්තාක් දුරකට ජනප්‍රියයි.

l ඔබේ නවකතා ගැන ඔබටම විනිශ්චය කරන්න අවස්ථාවක් ලැබුණොත්, ඒවා තක්සේරු කරන්නේ කොහොමද?

මගේ නවකතා අතරින් පිටුවහල් කළ මිනිසෙක්, දළ බිඳුම, සඳ කළුවරයි වගේ නවකතා ප්‍රශස්ත මට්ටමක තිබුණා. ඒවා ජනප්‍රිය රැල්ලට හසුවුණු නිර්මාණ නෙවෙයි.

ඒත් ඒ පොත්වලට නිසි තැන ලැබුණේ නැහැ. ඒකට හේතුව මම පත්තරවලට නවකතා ලියපු නිසා බොහෝ දෙනා හිතුවා මම ජනප්‍රිය රැල්ලේ නවකතාකාරයෙක් කියලා. ඒ ප්‍රවාහයට මගේ නවකතා සියල්ලම එක පොකුරට ගහගෙන ගියා.

l වර්තමානය වනවිට පුවත්පත් වෙනුවෙන් ලියන නවකතා ගර්හාවට ලක්වුවත්, එයට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා නේද?

අපේ රටේ පැරණිම නවකතාව බිහිවුණේ පුවත්පත් නවකතාව හරහායි. අයිසෙක් ද සිල්වා කියන අපේ ආදිතම ප්‍රබන්ධ කතාකරුවාගේ නවකතා පළව තිබෙන්නේ ඒ කාලේ පළ වූ පුවත්පත්වල කොටස් වශයෙන්. ඒ විදිහට බැලූවිට පුවත්පත් නවකතාවට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.

පියදාස සිරිසේන මහතාගේ නවකතාත් පුවත්පත්වල කොටස් වශයෙන් පළව තිබෙනවා. අපේ බොහෝ ප්‍රවීණ ලේඛකයන් පුවත්පත් සඳහා නවකතා ලියලා තිබෙනවා.

ඒ නිසා කිසිසේත්ම පුවත්පත් නවකතාව ලුහුකොට තකන්න හෝ බැහැර කරන්න බැහැ.

එ්ත් දැන් ලියැවෙන පුවත්පත් නවකතා ගැන මම වුණත් සෑහීමකට පත්වන්නේ නැහැ.

මේ නවකතා සඳහා ප්‍රේමය අනිවාර්ය විය යුතුවා පමණක් නෙවෙයි, එය බොළඳ විය යුතුයි. අනිත් කරුණ වන්නේ කිසිම වැදගැම්මකට නැති සුන්දර වචන ලැයිස්තුවක් ලස්සන කතාවක දවටලා ඉදිරිපත් කරන්න දැන් පුවත්පත්වලට ලියන නවකතාකරුවන් පෙලඹී සිටිනවා. ...... රැල්ල යන්නේ ඔහොමයි. ඒ නිසා දැන් පුවත්පත් නවකතාවට වටිනාකමක් තිබෙනවා කියලා කොහොමවත් පිළිගන්න බැහැ.

l ඔබ පසුකාලීනව පුවත්පත් සඳහා නවකතා ලිවීම නවතා, ඒවා ස්වාධීන නිර්මාණ විදිහට බිහි කරන්න උත්සහ කළේ මේ හේතුව නිසාද?

පත්තරවලට නවකතා ලිවීමෙන් හැකියාව නිකරුණේ අපතේ යනවා කියලා හිතවත් සහෘදයෝ මට කිව්වා . මම ඒ මතය පිළිගත්තා.

පුවත්පතක් වෙනුවෙන් සේවය කිරිමේදි එයට අවශ්‍ය දේවල් අපට කරන්න සිදුවෙනවා.

මං එය දිගින් දිගටම කළා. මේ විදිහට වසර පහක් හෝ හයක් මං නවකතා ලිව්වා.

ඒත් අපි හිතන විදිහෙ නිර්මාණයක් කරන්න වුවමනා නම්, අපට ඒවා ස්වාධීනව ප්‍රකාශයට පත් කරන්න පුළුවන් පරිසරයක් තිබිය යුතුයි. ‘අවපෑළවිය’ නවකතාව පිටවෙන්නේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහටයි.

මේ නවකතාව පුවත්පත් රැල්ලෙන් හා ඒ විලාසයෙන් බැහැරව ලියපු වෙනස් විදි­‍ෙහ කතාවක්.

l 56 පෙරළියෙන් බිහිවූ නව සමාජ පන්තිය, සාම්ප්‍රදායික ධනපතීන් සමඟ දක්වන ගනුදෙනුව ‘අවපෑළවිය’ට විෂය වන්නේ කෙසේද?

56 දරුවන් නිදහස් අධ්‍යාපනය හා සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා යම් සමාජ මට්ටමකට ආවා. මේ නවකතාවේ එන ගෙවි නමැති නිර්ධන පාන්තික තරුණයා මධ්‍ය විද්‍යාල හරහා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා, පරිපාලන සේවයට ඇතුල්වූවෙක්.

ඔහු උඩරට රදල තරුණියක් සමඟ විවාහ වීමෙන් බලාපොරොත්තු වන්නේ තවත් අත්තක් ඉහළට නඟින්නයි.

ඇය සාමාන්‍ය පන්තියේ තරුණයෙක් සමඟ විවාහ වන්නේ මැජික් එකක් නිසා නොවෙයි. කුල ගෞරවය නිසා ඇයට පළමු ප්‍රේමයත්, විවාහයත් අහිමි වෙනවා. මේ නිසා ඇය පහළට අඩියක් තියනකොට, තරුණයාගේ බලාපොරොත්තුව ඉහළට අඩියක් තියන්නයි.

56 දරුවන්ගෙන් සමාජය බලාපොරොත්තු වුණේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ඨ කර ගැනීමක් නෙවෙයි. පුළුල් සාමාජීය හැඩගැසීමක්.

ඔහු තවදුරටත් පීඩිත පන්තියට සේවය කළ යුතුයි. ඒත් කතාවේ වගේම සමාජ සැකැස්ම තුළත් සිදුවුණේ 56 දරුවන් ඉහළ ධනපති පන්තියට ඇතුළුවීමට උත්සහ කිරීමයි.

l ජනවංශකතාව රචනා කරන බොහෝ නවකතාකරුවන් එය කොටස් වශයෙන් ලිවීමට පෙලඹී සිටිනවා. ඒ අනුව ඔබත් මෙහි දෙවැනි කොටස ලියනවාද?

මගේ කිසිම පොතක දෙවැනි කොටසක් නැහැ. මම ලියූ සමහර නවකතාවලට හොඳ පාඨක ඉල්ලුමක් තිබුණා. ඒත් මම ඒවායේ දෙවැනි කොටසක් ලියලා නැහැ.

ඒකට හේතුව කතාවක් ලියා හමාර කළ පසු, ඒ කතාව එතැනින් අවසන් කියන හැඟීම මට දැනෙනවා.

ලියලා ඉවර කරපු කතාවක නැවත දෙවැනි කොටසක් ලිවිම අසාර්ථක උත්සාහයක්.

සමහරු අහනවා සමහර චරිතවලට එතැනින් එහාට වුණේ මොකද්ද කියලා. මම ඔවුන්ට කියන්නේ එතැනින් පස්සෙ වෙච්ච දේ මොකක්ද කියලා කියන්න මමවත් හරියට දන්නෙ නැහැ කියලයි.

l ඔබ පීඩිතයන් ගැන ලියන්නේ ඇයි?

අපේ සමාජයේ වැඩි කොටසක් මධ්‍යම පාන්තිකයන් කිව්වත් හැබෑවටම ගත්තොත් ඔවුන් පීඩිත පාන්තිකයන්.

මේ කොටස ඇඳුමෙන් පැළඳුමෙන් විතරයි මධ්‍යම පාන්තිකයන් වෙන්නේ. ආර්ථික වශයෙන් ඔවුන් පීඩිතයන්. ඒ නිසා ඔවුන් ගැන ලිවීම අපේ සමාජයේ අති බහුතරය ගැන ලිවීම වෙනවා.

l අද ලියැවෙන නවකතා ගැන ඔබේ අදහස කුමක්ද?

වර්තමාන නවකතාව ලිංගිකත්වයට, එන්. ජී. ඕ. සබඳතාවන්ට හා ආදර කතාවන් ඔස්සේ උඩින් උඩින් දුවනවා. ඒවායින් සමාජයේ යම් පැතිකඩක් නිරූපණය වෙනවා ඇති. ඒත් එය ප්‍රමාණවත් නැහැ.

ඉහළ පැලැන්තියේ උදවියගේ ජීවිතවල අඳුරු අහුමුලු එළිකරන්නයි කියලා ඔවුන් ගැන ලිවීමෙන් එතරම් ප්‍රයෝජනයක් වන්නේ නැහැ.

එයට වඩා අසාධාරණයට හා සූරාකෑමට ලක්වන මිනිස්සු වෙනුවෙන් නවකතා ලිවිය යුතුය යන ස්ථාවරයේ මං ඉන්නවා. මගේ අතින් එය ඉටු නොවෙනවා වෙන්න පුළුවන්. මා කියන්නේ විය යුතු දේයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා