පෞද්ගලික බස් සේවාවට විනයක් අවශ්‍යයි

පෞද්ගලික බස් සේවාවට විනයක් අවශ්‍යයි

රජය මගින් පෞද්ගලික බස් රථ රියදුරන්ට ද, ටිකට්පත් ලබාදීම සිදුකරන කොන්දොස්තරවරුන්ටද නිල ඇඳුම අනිවාර්ය කළද භාවිතයේදී බොහොමයක් රියදුරන් හා කොන්දොස්තරවරුන් එය අනුගමනය කරන ආකාරයක් දැක ගත නොහැකි ය. තවද මගීන්ගෙන් ලබාගන්නා මුදලට සරිලන අන්දමේ ටිකට්පතක් ඔවුන්ට ලබාදීම කළ යුතුව තිබුණ ද, ඇතැම් කොන්දොස්තර මහතුන් සතුව ටිකට් පොතක්වත් නොමැත. මෙහිදී ටිකට් පත පිළිබඳ විමසීමට යාමේදී මගීහු අපහසුතාවයට පත්වෙති.

ඇතැම් බස් රථ වල රියදුරන් අධික වේගයෙන් රිය පැදවීමත් අපරීක්‍ෂාකාරී ලෙස මාර්ග නීති කඩකරමින් රිය පැදවීමත් නිසා පසුගිය මාසවල සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව පවා ඉහළ ගොස් ඇති අන්දම පොලිස් වාර්තාවලින් පෙනී යයි. තවද ඇතැම් රියදුරන්ගේ තරගකාරී රිය ධාවනයද මීට හේතුවී ඇති බව පෙනී යයි. පසුගිය කාලයේ සිදුවූ බොහෝ පෞද්ගලික බස් රථවල අනතුරුවලට ප්‍රබලතම හේතුව මෙය බව වාර්තා වී ඇත. අප දැක ඇති පරිදි ඇතැම් රියදුරන් ජංගම දුරකථනය කනේ තබා ගෙන රිය පදවති. මෙයින් පෙනී යන්නේ රියදුරන්ගේ විනය පිරිහී ගොස් ඇති සෙයකි.

ඇතැම් අවස්ථාවක රථවාහන අංශයේ නිලධාරීන් මාර්ග නීති උල්ලංඝනය කරන මේ බස් රථ නතර කළ ද එහිදී කොන්දොස්තර මහතා අත යටින් සාක්කුවට දෙන මුදල ගෙන දඩ කොළය ලිවීම නතර කර, බස් රථය පිටත් කර යවයි. මෙලෙස ඔවුන්ට දඬුවම් දීමේ වාරය අහිමිකර ගනිද්දී බස් රථයේ කොන්දොස්තරවරයා රියදුරාට පවසන්නේ “හරි හරි අපි යං” යනුවෙනි. මාර්ග අනතුරු බහුල වශයෙන් සිදුවන පෞද්ගලික බස් රථවලට නව විනය නීතිමාලාවක් ගෙන ඒමේ කාලීන වගකීම බලධාරීන් සතුව ඇත.

ඇතැම් කොන්දොස්තරවරුන් නියමිත මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මගීන්ගෙන් අය කරති. එවිට මගීන් අපහසුතාවට පත්වේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වැනි ආයතන පැවතියද මාස ගණන් පැරැණි පැමිණිලි පවා විසඳාගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. දුර බස් සේවාවලදී අධික ශබ්දයෙන් යුතු එෆ්. එම්. නාළිකා හෝ කැසට් පට වාදනය වීම නිසා මගීන් දැඩි අපහසුතාවකට පත්වේ. තවත් බස් රථයක පාපුවරුවේ පටන් මගීන් පටවාගෙනය. සමහරක් බස් රථ කාලය කා දමමින් බස් රථ නැවතුම්පලවල බොහෝ වේලාවක් නවතා ගෙනය. තවත් එකක පිටුපස පාපුවරුව ටික දුරක් යන විට වසා දමා ඇත.

එක්තරා අවස්ථාවක පෞද්ගලික බස් රථයක යෑම යනු මිහිපිට අපාය සිහිගන්වන්නකි. ඇතැම් නූගත් පුද්ගලයින් කොන්දොස්තරවරුන් ලෙස සේවයෙහි නිරත වීම නිසා බොහෝ ගැටලු පැන නැගී ඇත. ඇතැම් විටෙක කොන්දොස්තරවරයා බසයේ මගීන් සමඟ බහින්බස් වෙයි.

නිදහස් ගමනාගමන සේවාවක් සහතික කරලීමට නම් පෞද්ගලික බස් රථ ධාවනය කරන රියදුරන්ට මෙන්ම, ඒවායේ සේවය කරන කොන්දොස්තර මහතුන්ට ද දැඩි විනය නීති මාලාවක් ක්‍රියාත්මක කළ යුතුය. එම නීති කඩ කරන පුද්ගලයින්ව ක්‍ෂණිකව නීතියේ රැහැනට කොටුකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසිය යුතුය.

ශ්‍රී ලංකාවේ නිදහස් ගමනාගමන සේවා තහවුරු කිරීමට පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව ආශ්‍රිත මේ ගැටලු පිළිබඳ සොයා බලා නව විනය නීති මාලාවක් සකස් කර, එම විනය නීති කඩකරන රියදුරන්ට හා කොන්දොස්තර මහතුන්ට දඬුවම් ලබාදීමට වගකිවයුත්තන් පියවර ගන්නේනම්, එය සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ප්‍රසාදයට හේතුවන බව නම් කිව යුතුමය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා