නිල්ල පිරුණු තෙත් බිම් උද්‍යානය

නිල්ල පිරුණු තෙත් බිම් උද්‍යානය

හාත්පස නිසංසල ය. සිසිලස ය. සිහිල් සුළං රැළි රැඳි විසිතුරු තුරුලතා තාල නැටුමක් වැනිය. හරිත උයන නිහඬ ය, ශාන්තය, කුඩා පොකුණු, දියකඩිති, දූපත් දිය පැහැදිලිය. නිල් පැහැ බිම් තීරු හරිත තුලිත සහිත අනේක විද මනරම් දසුන්වලින් සුසැදි තෙත් උයනකි. විවේක සුවයට, විනෝදයට දරුවන් ට ශරීර සුවතාවට අපූර්ව තෝතැන්නකි. මේ සොඳුරු නවාතැන නුගේගොඩ තෙත් බිම් උද්‍යානයයි.

පුළුල් කෙරුණු හීන් ඇල මැද කුඩා දූපත් සමූහයකි. නිල් දිය පිරුණු කුඩා පොකුණු ය. ශරීර සුවතාවට බිම් තීරු ය. ළමයින්ට විනෝදවීමට වෙන් වූ ස්ථානයන්ගෙන් ද සපිරිය. වතුර මලෙකින් විසිරෙන විචිත්‍රවත් පිනිබිඳු මිණිකැට මෙන් ය. ඉකුත් යුද සමයේදී භාවිත කළ ආරක්ෂක හමුදා රථ කීපයක් ප්‍රදර්ශනයට තිබීම ද විශේෂත්වයකි. විවේකය ගත කිරීම සඳහා මහජන උද්‍යාන, පාගමන් මං තීරු, පාපැදි මාර්ගද වේ. මෙම තෙත් බිම් උද්‍යානයේ හරිත ප්‍රදේශ, තුරුලතා වලින් ආවරණය වූ මාර්ග, පදික ගමන් මාර්ග ද වෙති.

තෙත් බිම් උද්‍යානය පිහිටුවා ඇත්තේ නුගේගොඩ - නාවල මාර්ගයට මුහුණලා නුගේගොඩ පෙදෙසට වන්නට ය. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර පහක පමණ භූමි භාගයක් මෙම තෙත් බිම් උද්‍යානය ලෙස සංවර්ධනය කර තිබේ.

නුගේගොඩ තෙත් බිම් උද්‍යානය කොළඹ නගර අලංකරණයේ තවත් අපූර්ව නිර්මාණයකි. දසක ගණනාවක් පුරා පාවිච්චියට නොගෙන අත්හැර තිබූ වගුරු බිම හැඩරුව කොට ඇති නිමැවුම සැබෑ ආශ්චර්යයකි. සැම සිත් නවතාලන සොඳුරු තෙත් උයන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා ජනතා අයිතියට පැවරුණි. නගර අලංකරණය අපේ රටට එක්වූ අලුත් සංකල්පයකි. වසර තුනකට පමණ ඉහත දුටු කොළඹ නගරය සහ අවට ප්‍රදේශවලද සැබෑ සංවර්ධන වෙනස එම සංකල්පයෙහි සාධනීයත්වය පිළිබිඹු කරන්නකි. එය සැබෑ විප්ලවීය වෙනසකි. එම සංකල්පයෙහි නිර්මාතෘ ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා සහ අධ්‍යක්ෂ ජෙනරාල් නිහාල් ප්‍රනාන්දු මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ආයතනයේ භූ දර්ශන නිර්මාණ ඒකකය මෙම උද්‍යානය නිර්මාණය කොට තිබේ. ඒ සඳහා පිරිවැය මිලියන 81.6කි. මෙයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය, ශශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සිදු කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය අක්කර 18.23 ක භූමි ප්‍රමාණයක මෙම සමස්ත වැඩසටහන ක්‍රියාත්මක කරමින් තෙත් බිම් උද්‍යානයක් ලෙස සංවර්ධනය කරති.

මෙම වැඩසටහන හා සමගාමීව සම්පූර්ණ වගුරු බිම් ආවරණය වන පරිදි නුගේගොඩ සිට කිලෝමීටර් 3/4 ක දුරින් ඇළ මාර්ගයක් සංවර්ධනය කෙරෙති. මෙම සමස්ත ව්‍යාපෘතියෙහි නිර්මාණ හා උපදේශන සේවා සපයන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. පාපැදි මාර්ග මෙන්ම ආවරිත බොරළු මාර්ග ද ඉදි කෙරෙනු ඇත. තෙත් බිම් උද්‍යානය පසෙක ඔය මත පාවෙන භෝජනාගාරයකි.

දෙස් - විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් පිනවන රුවල් බෝට්ටු ගමන් පහසුකම් ද සැලසෙනු ඇත. කොළඹ නගර සංවර්ධනයට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ සිට රාජගිරිය හරහා දියවන්නා ඔය වෙත වන ඇළ මාර්ග පද්ධතියකි. නගරයේ පවතින වාහන තදබදය සහ මාර්ග අපහසුතාවට විසඳුමක් ලෙස යෝජනා වී තිබෙන දිය මත යාත්‍රා කරන ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන්නේ ද මෙම සංවර්ධිත හීන් ඇළ මාර්ගය ඔස්සේ ය. මාස නවයක් වැනි කෙටි කාලයකින් මෙම මනරම් තෙත් බිම් උයන නිර්මාණය කිරීමට හැකිවී තිබෙන්නේ ශශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි.

නගර සංවර්ධනයේ දී වැසි ජලය බැසයාම සහ ගංවතුර උවදුරු වැළක්වීමේ ක්‍රමෝපායන් වේ. එහිදී ඇළමාර්ග පුළුල් කිරීම හා කුඩා ඔය සහ වැව් ගැඹුරු කිරීමේ ක්‍රමවේදයකි. මෙම තෙත් බිම් උද්‍යානය ලෙස පිළිසකර කෙරුණු බිම් ප්‍රමාණයේ මාර්ගය දෙසට වන ප්‍රදේශය වැලි ලොරි නවතා තැබීම සඳහා යොදා ගෙන තිබුණි.

ජනාධිපතිතුමා තෙත්බිම් උද්‍යානය විවෘත කළ අවස්ථාව

තවත් කොටසක් කසළ දැමීම සඳහා යොදාගෙන තිබුණි. වගුරු බිමක් වූ මෙම ප්‍රදේශය අත් හැර දමා තිබීම හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සහ හොර ජාවාරම්කරුවන්ගේ ගනුදෙනු කරන ස්ථානයක් බවට ද පත් කරගෙන තිබුණි. මේ තත්ත්වය සාමාන්‍ය ජනතාවට මහත් හිරිහැරයක් විය. නීති විරෝධී ජාවාරම් වළක්වාලමින් සහ ජනජීවිතවලට සුබදායි ඵල ලබාදෙමින් අත්‍යලංකාර වූ උයනක් බවට පත් කිරීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව හෘදයාංගම කෘතඥතාව රජයට පළ කර සිටිති.

විවෘත අවකාශ තැබීම දියුණු නගරවල ලක්ෂණයකි. ජනාකීර්ණ කොළඹ නගරය සංවර්ධන සැලැස්මෙහි විවෘත අවකාශ ගණනාවකි. දියවන්නා ඔය ආශ්‍රිතව, ගංගාරාම විහාරය, නිදහස් චතුරස්‍රය වැනි ස්ථාන ආශ්‍රිතව කොළඹ නගර සංවර්ධන සැලැස්මට යටතේ සකස්කෙරුණු නිදහස් අවකාශවල ජනතාව භුක්ති විඳින ආකාරය අනුව එවැනි අවශ්‍යතාවක් මහත් සේ පැවති බව සනාථ වේ. නාගරිකරණයේදී එම අවශ්‍යතාවය මැනවින් හඳුනාගනු ලැබූ නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතාය.

නුගේගොඩ තෙත් බිම් උද්‍යාන පෙදෙසද ඉතා ඉහළ මිලක් නියම කළ හැකි භූමි භාගයකි. වාණිජ මට්ටමේ ගොඩනැඟිලි ඉදි කළ හැකි ස්ථානයකි. වාණිජ මිලට වඩා

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිකිරීම් නීරීක්ෂණය කරමින්

ජනතාවට විවෘත අවකාශ පෙදෙසක අවශ්‍යතාව රජය අවබෝධ කරගෙන තිබේ. නුගේගොඩ පෙදෙසේ අක්කර 18ක භූමි ප්‍රමාණයක් සංවර්ධනය කිරීමෙන් නුගේගොඩ නගරයේ ද අගය තවදුරටත් ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය ලෙසට නිර්මාණය කිරීමේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව නගර අලංකරණය සඳහා හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

නගරවල අක්‍රමවත් බව දුරලා සුපිරි නගර බවට පත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ඉතිහාසය පුරාවටම ක්‍රියාත්මක වන නගර ලස්සන කිරීමේ ප්‍රථම වැඩසටහන මෙම නගර සංවර්ධන සැලැස්මයි. මේ වනවිට ප්‍රධාන නගර සහ උප නගර 20ක් සංවර්ධනය වෙමින් පවතී.

විශේෂයෙන් කොළඹ නගරය ශ්‍රී ලංකාවේ ආර්ථික නගරය ලෙස වැඩිදියුණු කිරීමේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළකි. දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනයේ ඇස නොගැටුණු කොළඹ නගරය ආර්ථික හා සමාජයීය වශයෙන් ඇති විප්ලවීය සංවර්ධනයේ ප්‍රතිලාභ නොලැබූ කෙනෙක් නොවෙති. දෙස් - විදෙස් සංචාරකයින්ගේ සොදුරු පුරවරයක් වී තිබෙන බව ප්‍රතිලාභීහු පෙන්නුම් කරති.

කොළඹ සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරයි. මග අවහිර කළ පදික වේදිකා නැත. පදික වෙළඳුන්ට වෙනම ස්ථානයක් වෙන්කර දී තිබේ. අපිරිසුදු ජලපවාහන පද්ධති ඉවත්කොට සනීපාරක්ෂක ක්‍රමවේද සකසා ඇත. කැඩිබිඳී ගිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමෙන් හා නගරයේ සියලුම ප්‍රධාන මාර්ග හා මංමාවත් වැඩිදියුණු කොට තිබේ. කාලවර්ණ ජලයෙන් දුඟද හමන ඇළමාර්ග පිරිසුදු කොට ජන ජීවිතවලට හා ශරීර සෞඛ්‍යයට යහපත් වන අන්දමට හා අලංකරණය සඳහා අවශ්‍ය පියවර යොදා තිබේ. පැල්පත් නිවාසලාභීන් වෙනුවෙන් සපිරි නිවාස ලබාදීමේ වෙනම ව්‍යාපෘතියකි. කොළඹ නගරයේ තැනින් තැන ගොඩ ගැසුණු කසළ කඳු ඉවත් කොට පිරිසුදු කිරීමේ ක්‍රමවේදයකින් ඇරඹි නගරය ලස්සන කිරීමේ හා සංවර්ධනය කිරීමේ ක්‍රමෝපායන් අනුව කොළඹ සුන්දර පුරවරයක් බවට පත්කිරීමට හැකිවී තිබේ. ඒ අතර කොළඹ නගරය වාණිජ නගරයක් කිරීමේදී කෞතුක වස්තුන් හා ඉපැරණි ගොඩනැඟිලිවල සහ ශ්‍රී ලාංකික උරුමය හා අනන්‍යතාව ආරක්ෂා වන පරිදිත් ප්‍රෞඪත්වය ඉස්මතු වන ආකාරයටත් සංවර්ධනය කිරීම විශේෂත්වකි. ඒ අනුව කොළඹ නගරය අභිමානයෙන් ඔප් නැංවෙයි. ශ්‍රී ලංකාව සංවර්ධන ඉලක්ක කරා ශීඝ්‍ර ගමනක යෙදෙන බවට ඒ කදිම නිදසුන්ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා

කොළඹ නගරය වර්තමාන සංවර්ධනය සමඟ අලුතෙන් නිර්මාණය වීමේ සුබවාදී තත්ත්වය ඇතිවූයේ ජනාධිපතිතුමන්ගේ නිවැරදි තීරණය නිසයි. ආරක්ෂක අමාත්‍යංශයට නාගරික සංවර්ධන අමාත්‍යංශය ඒකාබද්ධ කිරීමෙන් පසුව එම අමාත්‍යංශ ලේකම් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයට අනුව වසර දෙකහමාරක් වැනි කෙටි කාලයකදී කොළඹ නගරයේ සැබෑ සංවර්ධනයක් සිදු වී තිබේ.

රට අරාජික කරමින් වසර 30ක කාලයක් ත්‍රස්තවාදය පැවති ආකාරයට කොළඹ කුණු ප්‍රශ්නයට ද විසඳුමක් නොලැබෙන බවට නාගරිකයින්ගේ මතයක් මුල් බැසගෙන තිබුණි. කොළඹ නගරය පරිපාලනය කෙරෙන දේශපාලන අධිකාරියට වසර ගණනාවක් පුරා විසඳුමක් ලබාදිය නොහැකිව තිබූ කසළ ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම විසඳුම් ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ අගනගරය වූ කොළඹ පැවතියේ රටේ අනෙකුත් සාමාන්‍ය නගරවල තත්ත්වයට ද වඩා අපිරිසුදුව හා අක්‍රමවත් ලෙසින්ය. දිනපතා ලක්ෂ 5 - 6 ක සංඛ්‍යාවක් පැමිණෙන කොළඹ නගරය සංචාරකයින්ගේ සහ ආයෝජකයින්ගේ සිත් දිනාගන්නා ආකර්ෂණීය නගරයක් බවට පත්කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ නගර නිර්මාණ සංකල්පය හැකිවී තිබේ. කොළඹ නගරයට අමතරව තවත් නගර 20ක් සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.

රටේ ආරක්ෂාවට මූලිකත්වය දෙමින් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය හරහා ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවෙන් යෝධ සැලසුම් මේ වසරේදී ක්‍රියාත්මක කෙරෙයි.

රටක යුද ජයග්‍රහණයකින් පසුව පශ්චාත් යුද සමයකදී බොහෝ රටවල දිවිනසා ගැනීම් වැනි අනිසි දේවල් සිදුවේ. ජනාධිපතිතුමන්ගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ නිවැරදි දැක්ම අනුව අපේ රටේ යුද ජයග්‍රහණයෙන් පසුව ආරක්ෂක අංශ රටේ සංවර්ධණය ක්‍රියාවලියට දායක කරගෙන තිබේ. ඒ නිවැරදි නායකත්වයයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා