තවත් බෝම්බයක් නිෂ්ක්‍රීය කරයි

තවත් බෝම්බයක් නිෂ්ක්‍රීය කරයි

න්තවාදය, ජාතිවාදය, ආගම්වාදය, ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරමාණු බෝම්බවලට වඩා භයානක ය. මේ බෝම්බ පුපුරා ගියහොත්; රටක් - ජාතියක් පමණක් නො ව මුළු ලෝකයක් වුව දවා හළු කර දැමිය හැකි ය. ශ්‍රී ලංකාව ද මේ සියල්ලෙන් ම බැට කෑ රාජ්‍යයෙකි. එහි අති බිහිසුණු අත්දැකීම් අපට තිබේ. දැන් පැමිණ ඇත්තේ ඉහත කී වාද අත්හැර රටේ ඉදිරි ගමන වෙනුවෙන් කැප විය යුතු කාල පරිච්ඡේදයෙකි. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොර ව රටේ සියලු දෙනා ඒ බව වටහා ගත යුතු ය. අනාගත සමෘද්ධිය හෝ පරිහානිය හෝ රැඳී ඇත්තේ එම වැටහීම මත ය.

හලාල් නමින් වූ අර්බුදයක් මීට මාස කිහිපයකට ඉහත දී දේශපාලන කරලියට පැමිණියේ ය. එය බරපතළ ප්‍රශ්නයක් බවට පත් වූයේ විවිධ සංවිධාන විසින් ඇතිකරන ලද ප්‍රචාරයන් නිසා ය. හලාල් යනු ඉස්ලාම් ආගමට අනුව කැප කළ නැතහොත් සුදුසු යන අර්ථය යි. එහි විරුද්ධ වචනය හරාම් නම් වේ. ඉස්ලාම් භක්තිකයාට සුදුසු භාණ්ඩ සඳහා හලාල් ලකුණ යොදනු ලැබී ය. එහෙත් වෙළෙඳ පොළේ දී එය ප්‍රශ්නයක් බවට පත් විණි. අවසානයේ එය ආගම්වාදයක් දක්වා ද; දේශපාලන ප්‍රශ්නයක් දක්වා ද දුර දිග ගියේ ය.

මේ ගැටලුවට විසැඳුමක් දැන් ලැබී තිබේ. දේශීය වශයෙන් අලෙවි කරන කිසිදු භාණ්ඩයකට හලාල් ලකුණ නො යෙදීමට සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය තීරණය කොට තිබේ. විදේශීය වශයෙන් අලෙවි කරන භාණ්ඩවලට අවශ්‍ය නම්; පමණක් හලාල් ලකුණ යොදනු ඇත. ඒ සඳහා ද ඉල්ලීමක් කළ යුතු ව තිබේ. මීට පෙර හලාල් ලකුණ යොදා ඇති භාණ්ඩවලින් ඒවා ඉවත් කිරීම දුෂ්කර ය. එබැවින් මෙතෙක් හලාල් ලකුණින් නිකුත් වූ භාණ්ඩ එලෙස ම අලෙවි වනු ඇත. එය ගැටලු සහගත තත්ත්වයක් නො වේ. මේ තීන්දුව ගත් උලමා සංවිධානයට අප ගේ කෘතඥතාව හිමි විය යුතු ය. එය රට ගැන කල්පනා කොට ගත් තීන්දුවක් සේ සැලැකිය හැකි ය.

සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානයේ සභාපති එච්. අයි. එම්. රිස්වී මුෆ්ති මවුලවීතුමා මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ රටේ සමඟිය, සහජීවනය හා සහෝදරත්වය තම සංවිධානය ඉහළින් ම සලකනු ලබන බවය. රටේ බහුතර ජනතාව වූ සහෝදර සිංහලයන්ගේ හැඟීම් - දැනීම් තම සංවිධානයට ඉතා හොඳින් දැනෙන බව ද මවුලවීතුමා ප්‍රකාශ කොට තිබේ. ඈත අතීතයේ සිට ම පැවැතෙන මුස්ලිම් - සිංහල සහෝදරත්වය අප සිහියට නැඟේ. එය අපූරු බැඳීමෙකි. ඉතිහාසය විමසන විට මේ බැඳීම තවත් තීව්‍ර ලෙස වටහා ගත හැකි ය.

හලාල් ප්‍රශ්නය විසැඳීම සඳහා වූ බෞද්ධ - ඉස්ලාම් කතිකාවක් දිගට ම පැවැතිණි. මහා සංඝරත්නය මෙන් ම උලමා සංවිධානය ද මේ කතිකාව කරගෙන ගියහ. පසුගිය එකොළොස් වනදා ඉහත තීන්දුව ප්‍රකාශයට පත් කැරිණි. එහි දී මහා සංඝරත්නය වෙනුවෙන් අදහස් පළ කළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ ද ජාතියට ආදර්ශයක් ලබා දුන්හ. උන් වහන්සේගේ අදහස වූයේ මේ තීන්දුව බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් හෝ ඉස්ලාම් භක්තිකයන්ගේ පරාජයක් හෝ නො වන බවය. එය රට ගැන කල්පනා කොට ගත් යහපත් තීන්දුවක් ලෙස උන් වහන්සේ පෙන්වා දුන් සේක.

මහා සංඝරත්නය මෙන් ම උලමාවරුන්ගේ සංවිධානය ද ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කර ඇති බව සටහන් කළ යුතු ය. ආගම ඔස්සේ අන්තවාදයට ගියහොත් ඉතිරි වන්නේ විනාශය පමණි. සෑම ආගමක ම පදනම ගැටුම් නිරාකරණය මිස ගැටුම් ඇති කිරීම නො වේ. කිසිදු ආගමක් තවත් ආගමකට පහත් වන්නේ ද නැත. උසස් වන්නේ ද නැත. ඉස්ලාම් ආගමෙහි උගන්වන සහෝදරත්වය බෞද්ධයන්ගේ මෛත්‍රියට හා කරුණාවට සමාන ය. අපට එකිනෙකාගේ හැඟීම් - දැනීම් ගැන හෘදයාංගම වැටහීමක් තිබිය යුතු ය. ඇතැම් විට අනෙකා වෙනුවෙන් කැප කිරීමකට වුව අප යා යුතු ය.

ආණ්ඩුව ද මේ ප්‍රශ්නයේ දී ඉතා බුද්ධිමත් ව හා ඉවසීමෙන් කටයුතු කළ බව පෙනී යයි. ඉහළ තැන්වලින් වැරැදි තීන්දුවක් ගත්තේ නම්; එය ආගම් වාදයකට පමණක් නො ව ජාතිවාදයකට ද මුල වන්නට ඉඩ තිබිණි. වාණිජ මණ්ඩලය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි රාජ්‍ය ආයතන මෙහි දී කල්පනාකාරී ව රාජකාරි සිදු කර තිබේ. මේ ආයතන වැරැදි තීන්දුවක් හෝ හදිසි තීන්දුවක් ගත්තේ නම්; ප්‍රශ්නය ඔඩු දුවන්නට ද ඉඩ තිබිණි. එවැන්නක් සිදු නො වීම ජාතියේ වාසනාවක් සේ සැලැකිය හැකි ය. ඉතිහාසය තුළ ඉස්ලාම් - බෞද්ධ ගැටුම් කිහිපයක් ඇති වූයේ වැරැදි වැටහීම් නිසා ය. ඒවාට ඉහළ තැන්වලින් ගත් තීන්දු - තීරණ ද බලපා තිබිණි.

ශ්‍රී ලංකාව බහු වාර්ගික හා බහු ආගමික රාජ්‍යයක් ලෙස පිළිගත යුතු ය. එහෙත් එකිනෙක ආගම්වල හා භාෂා සංස්කෘතීන්හි අනන්‍යතාවන් ද අප පිළිගත යුතු ය. ත්‍රස්තවාදය පරාජය කොට ශ්‍රී ලංකාවට නිදහස ලබා දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහස වන්නේ ද ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීම මිස තනිකර සිංහල රාජ්‍යයක් ගොඩනැඟීම නො වේ. යුද්ධය ජයග්‍රහණය කිරීම සිංහල ජාතිවාදයට මගක් යැයි කිසිවකු සිතන්නේ නම්; එය විශාල මුළාවකි. රටේ ඉදිරි ගමන අපේක්‍ෂා කරන සියල්ලෝ ම ජාතිවාදයට, ආගම්වාදයට හා වෙනත් වාදවලට විරුද්ධ විය යුත්තෝ ය.

හලාල් ප්‍රශ්නය දුර දිග ගියේ තව ම ජාතිවාදයට හා ආගම්වාදයට උඩගෙඩි දෙන අය අප අතර සිටින නිසා ය. රටේ ස්වාධීනත්වයට හා සංවර්ධනයට විරුද්ධ අය මෙබඳු උපාය මාර්ග භාවිත කරති. එක අතකින් ඔවුන්ගේ අවසන් ඉලක්කය වන්නේ නිදහසට පහර ගැසීම ය. නැතහොත් බෙදුම්වාදයට සහාය දැක්වීම ය. හලාල් ගැටලුව අපට අලුත් පාඩමක් කියා දී තිබේ. එනම්; ජාතීන් හා ආගම් අතර සංවේදී සිදුවීම් ඇති නො වන ලෙස කටයුතු කළ යුතු බව ය. එය තේරුම් නො ගතහොත් යළිත් අප විනාශය කරා තල්ලු වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා