බටහිර බලවේග පරාජයට ශ්‍රී ලාංකිකයෝ කිළිනොච්චියේදී පෙළ ගැසෙති

බටහිර බලවේග පරාජයට ශ්‍රී ලාංකිකයෝ කිළිනොච්චියේදී පෙළ ගැසෙති

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් කිළිනොච්චියේදී ඊයේ (12) පැවැති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සඳහා දසදහසකට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

මේ විරෝධතා ව්‍යාපාරය බෙහෙවින්ම සාර්ථක වී තිබෙන අතර ඒ සඳහා යාපනය, වවුනියාව, කිළිනොච්චි, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි වෙසෙන සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජනකොටස් සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක බටහිර බලවේග පරාජය කොට ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සහ ස්ථිරසාර සාමය තහවුරු කිරීමේ අරමුණින් පැවැති මේ විරෝධතා ව්‍යාපාරය කිළිනොච්චිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා එන්. ගීතාංජලී නගුලේෂ්වරන් මහත්මිය විසින් සංවිධානය කෙරිණි.

රටට හතුරු බලවේග පරාජයට පත්කොට වත්මන් රජය ගෙන යන ආර්ථීක සංවර්ධන සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයට සහාය පළකිරීම වෙනුවෙන් පැවැති මෙහිදී විවිධ සටන් පාඨ ප්‍රකාශ කරමින් කිළිනොච්චිය නගරය වෙත පෙළපාලියකින් පැමිණ තිබෙන අතර අනතුරුව විරෝධතා ව්‍යාපාරය දිගුවේලාවක් පවත්වා තිබේ.

"කේලම් කාරයින් අපිට එපා, අපේ ප්‍රශ්න අපිම විසඳා ගන්නම්, ජිනීවා විසඳුම් අපිට එපා" ආදී වශයෙන් විවිධ සටන් පාඨ ප්‍රකාශ කරමින් මේ පිරිස පෙළපාලියෙන් පැමිණ ඇත.

ත්‍රස්තවාදයෙන් ජයගත් ශ්‍රී ලංකාව අද වනවිට සමෘද්ධිමත් දේශයක් කරා රැගෙන යන ලොව ශක්තිමත් නායකත්වයට තවදුරටත් ශක්තියක් වෙමින් සහ බටහිර බලවේගවලින් ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් පැවැති මේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසාම කොටි හිතවාදී සංවිධාන සහ කොටි හිතවාදී වෙබ් අඩවි විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව වාර්තා වෙයි.

මේ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් වැරැදි අර්ථකථන ලබාදෙමින් එය පැවැතියේ රාජ්‍ය අනුග්‍රහය යටතේ බවටත් බලහත්කාරයෙන් විශාල පිරිසක් ගෙන්වාගත් බවටත් ප්‍රචාරයකර තිබේ. කෙසේ වුවද රටට සහ රජයට හිතවත් මේ පිරිස විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළේ ස්වෙච්ඡාවෙන්ම බවද ඒ සඳහා කිසිවෙකුගේ බලපෑමක් නොමැති බවටද එම විරෝධතාකරුවන් ප්‍රකාශකර ඇත.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් කිළිනොච්චිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා එන්. ගීතාංජලී නගුලේෂ්වරන් මහත්මිය සඳහන්කර ඇත්තේ දෙමළ ජනතාවට වෙනම දේශයක් ලබාදෙන බවට ප්‍රකාශ කළ එල්.ටී.ටී.ඊ ය එම අහිංසක ජනතාවට උරුමකර දී ඇත්තේ ආබාධිතයින්, හිඟන්නන් සහ වැද්දඹුවන් බවත් අද වනවිට යුද අපරාධ සිදුවූ බව පවසමින් ජාත්‍යන්තරයෙන් රජයට චෝදනා එල්ල කරන බවත්ය.

කොටි සංවිධානය උතුරු පළාතේ දෙමළ සංවිධාන 22 ක් සමඟ එක්ව විනාශ කළ අහංසක ජීවිත සම්බන්ධයෙන් කිසිවක් කතා නොකරන බවද ඇය සඳහන් කළාය. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීන් සහ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගි තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් වත්මන් රජය විසින් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ති‍බෙන බවද ඒ නිසා මානව හිමිකම් සම්බන්ධයෙන් අවවාද උපදෙස් ලබාදීම අවශ්‍ය නොවන බවද එම ජනතාව පෙන්වා දෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා