කොම්පඤ්ඤවීදියේ පදිංචිකරුවන්ගේ පෙත්සම ලබන 4දා යළි කැඳවයි

කොම්පඤ්ඤවීදියේ පදිංචිකරුවන්ගේ පෙත්සම ලබන 4දා යළි කැඳවයි

කොම්පඤ්ඤවීදිය, ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියෙහි අරමුණ එහි පදිංචිකරුවන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදීමත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙහි ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ‍ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ (12) කීය.

කොම්පඤ්ඤවීදියෙහි පදිංචිකරුවන් ‍පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් කැඳ වූ අවස්ථාවේදී මුස්තාපා මහතා මේ බව කීය. අගවිනිසුරු මොහාන් පීරිස්, පී.ඒ. රත්නායක, ප්‍රියසාත් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම් කැඳවන ලදී.

එහිදී නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කළ පරිදි එහි තාවකාලික කාර්යාලයක් කොම්පඤ්ඤවීදිය, ද සොයිසා පටුමඟ අංක 33 දරන ස්ථානයෙහි ඉකුත් සිකුරාදා සිට සඳුදා තෙක් පිහිටුවා තිබූ බවය.

එහි පැමිණි කොම්පඤ්ඤවීදිය පදිංචිකරුවන් තුන්සිය දහහත් දෙනකු (317) සිය අහිමි වූ නිවාස වෙනුවෙන් කුලී දීමනා ලබා ගැනීමටද එකසිය හැට හතර (164) දෙනකු වන්දි ලබා ගැනීමටද කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජනාධිපති නීතිඥවරයා කීය.

එම ප්‍රදේශයෙහි පර්චසයක් රුපියල් ලක්ෂ හතළිස් තුන බැගින් තක්සේරු කිරීමක් රජයේ තක්සේරුකරු විසින් සිදු කර ඇතැයි ඒ මහතා කීය. එහෙත් ඇතැම් පුද්ගලයින් පර්චසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 80 බැගින් ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වුවද වන්දි හෝ කුලී මුදල් ලබා ගැනීමට මේ ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බහුතරය කැමැත්ත ප්‍රකාශ කර ඇති බැවින් කොම්පඤ්ඤවීදිය ප්‍රතිසංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යා හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කෙළේය.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඇති වී තිබෙන සමථයන් අනුව ඉදිරි කටයුතු කරගෙන යාමට නාගරික සංවර්ධන අධිකාරියට අවසර දුන්නේය. වන්දි ලබාගැනීමට දැනට කැමැත්ත පළ කර ඇති පුද්ගලයින් එම ඉඩම් සහ දේපළ තක්සේරු කිරීමෙන් පසුව ඊට අකමැති වන්නේ නම් ඒ වෙනුවට කුලී දීමනා ලබා ගැනීම තෝරාගත හැකි බවද අධිකරණය මෙහිදී සඳහන් කෙළේය.

මේ පෙත්සම් අප්‍රේල් මස 04 වැනිදා නැවත කැඳවීමට නියම විය. සුජීව සේනසිංහ, ෆර්මාන් කසීම් යන නීතිවේදීන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

සුදත් පෙරේරා නීතිඥ සමාගමෙහි උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නාගරික සංවර්ධන අධිකාරිය සහ එහි සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන්ද පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා