තාවකාලික පැවිද්ද මානසික ආතතියට හොඳ පිළියමක්

තාවකාලික පැවිද්ද මානසික ආතතියට හොඳ පිළියමක්

මාබිම හෙයියන්තුඩුවේ තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික

මධ්‍යස්ථානයේ විහාරාධිපති රාස්සගල සීවලී හිමි

වර්තමාන සමාජය දෙස බලන කල ගුණධර්ම හා සාරධර්ම පිරිහීමේ දොරටුව කරා වේගයෙන් ළංව ඇති බව පෙනී යන කරුණකි. මෙසේ වීමට හේතුව හා නොමඟට ඇදී යන තරුණ පරපුර සුමඟට ගැනීමට බෞද්ධ ආගමික වෙනසක් ඇති කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ මාබිම හෙයියන්තුඩුවේ තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිපති රාස්සගල සීවලී හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

l වත්මන් ලාංකේය සමාජය තුළ සාරධර්ම පිරිහීමක් ඇති බව පැහැදිලිවම දක්නට ලැබෙනවා. මෙයට හේතුව ලෙස දකින්නේ කුමක් ද?

ලංකාවේ සමාජ පරිහානියට හේතු ගණනාවක් බලපා තිබෙනවා. ඉන් පළමුවැන්න වන්නේ දුප්පත්කම. දුප්පත්කම වැඩිවෙන්න වැඩිවෙන්න සොරකම වැඩිවෙනවා. එසේනම් දුප්පත්කම නැතිකරන්න පිළියම් යෙදිය යුතුයි. මේ සඳහා රටේ පාලක පක්ෂයට දැඩි වගකීමක් පැවරිලා තිබෙනවා.

දෙවන කරුණ වන්නේ මිනිසාගෙන් ආගම, ධර්මය ඈත්වීමයි. අද මිනිසුන් යන්ත්‍ර වගේ. පවතින ජීවන රටාව සමඟ බලද්දී එය සාධාරණයි. මෙවැනි තරගකාරි සමාජ රටාවක් තුළ ගුණධර්ම පෝෂණය කිරීමටවත් ඔවුන්ට කාලවේලාවක් නැහැ. ‘ගමයි පන්සලයි වැවයි දාගැබයි’ මුල් කරගෙන ගොඩනැඟුනු එදා සමාජයේ, ගුණධර්ම අතින් අඩුවක් තිබුණේ නැහැ.

එදා සමාජයේ මිනිසාට තව කෙනකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට හෝ කොල්ලකෑමට හෝ පරිසරය වනසන්නට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අද හෙළ සමාජය උඩු යටිකුරු වෙලා තිබෙන්නේ එදා තිබූ සරල දිවිපැවැත්ම වෙනුවට දරුවෝ මවුපියන්වත්, මවුපියන් දරුවන්වත් හඳුනන්නේ නැති සමාජ ක්‍රමයක් බිහිවී තිබීම නිසයි.

මෙවැනි ගැටලුකාරී සමාජ රටාවක් තුළ ළමා පරපුර හා තරුණ පරපුරේ අනාගතය කෙබඳුවේ ද?

එදා සමාජයේ තරුණ පරපුර කෙතරම් හැදියාවකින් යුත්තවී සිටියා ද කියන එක අද වැඩිහිටියන්ව සිටින ඒ අය දිහා විමසීමේදී පැහැදිලි වෙනවා. එදා සමාජයේ කෙතරම් උසස් පුද්ගලයෙක් වුවත් පන්සලෙන් දහම් අධ්‍යාපනය ලබා ගත්තා. එදා ගුණධර්ම හා සංවරය වඩාලීමේ හොඳම තැන වුණේ ගමේ විහාරස්ථානය.

එය අදටත් වලංගුයි. ජීවිතය යහමඟට යැවීමට නම් ආගමික පරිසරයක් අවශ්‍යයයි. එසේ නොමැතිව සංවරශීලි පරිසරයක් අපේක්‍ෂා කරන්න බැහැ. අද තරුණ පරපුරට හා ළමා පරපුරට සිදුවී තිබෙන්නේ තම ආගම හා ධර්මයට අනුගත නොවීමේ පලවිපාකයි. අද බොහෝ දරුවන් පන්සල් යාමට රුචියක් දක්වන්නේ නැහැ. දරුවන් ඒ සඳහා පොලඹවන්න මවුපියන්ට උවමනාවක් නැහැ. දරුවාගේ ඉඳන් තරුණයා දක්වා පන්සල් යාමට වඩා කැමැත්තක් දක්වන්නේ විනෝද වෙන්න. විනෝද වීම, ක්‍රීඩා කිරීම දරුවෙකුට අවශ්‍යයයි.

ඒ වගේම ජීවිතය යහමඟට යොමු කරගැනීමට දහම් අධ්‍යාපනය ලබාදීමත් අත්‍යවශ්‍යම දෙයක්. නමුත් සිදුවන්නේ දහම් පාසල අමතක කර පුද්ගලික පන්ති සඳහා යාම. ලංකාවේ දුරාචාරවලට තරුණ පිරිස යොමු කිරීමේ ප්‍රධානම කොටස්කරුවන් වන්නේ ටියුෂන් මුදලාලිලා. මේ ටියුෂන් මුදලාලි අතරින් බහුතරයක් ඉන්නේ බෞද්ධ අය.

නමුත් බෞද්ධ සදාචාරය ඉගෙන ගෙනත් ඒ අය එයට පිටුපාලා ඉතාම නිර්ලජ්ජ විදිහට මුදල්වලට දරුවන්ගේ ගුණධර්ම බිල්ලට දීලා තිබෙනවා. ඇතැම් අය මුදල් පසුපස හඹා යමින් තැන්තැන්වල ටියුෂන් කඩ දමාගෙන මොනවා හෝ දෙයක් උගන්වලා මේ කරන්නේ ඉදිරි තරුණ පරපුර නොමඟට යොමු කිරීමක්. බලන්න අද මේ වැනි ටියුෂන් කඩ නිසා දරුවෝ කොතරම් පිරිසක් දුරාචාරයට, මත්ද්‍රව්‍යට පෙලඹිලා තිබෙනවාද?

එවැනි අයට මා පෞද්ගලිකව යෝජනා කරන්නේ, දැනුම සමාජයේ විනාශයට නොව සමාජයේ යහපැවැත්මට යොදාගන්නා ලෙසයි. යහපත් සමාජයන් ගොඩනඟන්න දැනුම හා යහපැවැත්ම යන දෙකම අවශ්‍යයි. මව්පියන් වුවත් තම දරුවන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වී ළදරු අවධියේ සිටම ආගමික පරිසරයක් තුළ දරුවාට හැඩගැසීමට ඉඩකඩ සලසා දිය යුතු වෙනවා. පන්සල හා දහම්පාසල ඔවුනගේ හදවතට ළංකරදීම යහපත් සමාජයකට අඩිතාලමක්.

අපරාධ හා දුරාචාර වැඩිවීමට නව තාක්ෂණය රුකුලක් සපයනවා නේද?

රටක තාක්ෂණය, විද්‍යාව ආදිය නවීකරණය විය යුතුයි. නව්‍යතාවයෙන් යුතු දියුණු රටක් බිහිවන්නේ එවිටයි. නමුත් තාක්ෂණික දියුණුව යොදා ගත යුත්තේ යහපත් දෑ කිරීමට පමණයි. තාක්ෂණික මෙවලම් දියුණු වෙලා මිනිසුන් අතරට ගියේ මිනිසුන්ගේ වැඩ කටයුතු පහසුවෙන් හා ඉක්මණින් වඩාත් කාර්යක්ෂවමව සිදු කර ගැනීමට මිස මිනිසුන්ගේ අයහපතට නොවේ.

එහෙත් වර්තමානයේ ජංගම දුරකථන හරහා හොඳ වගේම නරකත් සිදුවෙනවා. පවුල් සංස්ථාව තුළ ගැටුම් ඇතිවීම් හා ඇතැම්විට විවාහය දික්කසාදයන්ගෙන් ද කෙළවර වීමටත් මෙම ජංගම දුරකථන, වෙබ්අඩවි ආදිය යම් බලපෑමක් ඇති කර තිබෙනවා.

වර්තමානයේ ඕනෑම අයෙකුට අසැබි දර්ශන දැක බලාගත හැකි වෙබ්අඩවි නිර්මාණය වී තිබෙනවා. මේවා දරුවොත් බලනවා. වැඩිහිටියන්ගේ මනස විකෘති වෙනවා වගේම දරුවන්වත් වැඩිහිටියන්ගේ කාමුක ලෝකයට ඇද ගැනීමක් සිදුවෙනවා. ඒ අතින් බලනවිට තාක්ෂණික දියුණුව සදාචාර පිරිහීමට එක් හේතුවක් ලෙස ගත හැකියි.

ලංකාවේ මෙපමණ බුදු බණ කියන බුදු බණ අහන වටපිටාවක් තිබිලත් අපරාධ වැඩිවන්නේ අද බුදු දහමත් නවීකරණය වී ඇති නිසා ද?

බුදුදහම නවීකරණය වෙලා නැහැ. බුදු දහම ප්‍රචාරය කරන විදිහයි නවීකරණය වෙලා තිබෙන්නේ. නමුත් එයින් අයහපතක් සිදුවන්නේ නැහැ. සමාජයේ ජීවත් වන මිනිස්සු විවිධාකාරයි. විවිධ මානසික තලවල ජීවත් වන මිනිසුන් ඉන්නවා. ඒ ඒ පුද්ගල කණ්ඩායම්වලට ගැළපෙන සේ බණකීම කාලෝචිතයි. විශේෂයෙන්ම තරුණ පරපුරට බුදු දහම තුළ ඇති සත්‍යවාදි බව හා බෞද්ධ දර්ශනය ඉතා සරලව හදවතට වැටහෙන සේ ලබාදිය යුතුයි. එම නිසා බණ කියන රටාවන් වෙනස් වෙලා තිබෙනවා. නමුත් බුදුදහමේ හර පද්ධතිය වෙනස් නොවිය යුතුයි.

ලංකාවේ අපරාධ වැඩිවෙලා කියලා හිතනවානම් එයට වගකිව යුත්තේ අද පවතින මාධ්‍යයි. දැනට වසර තිහකට පෙර මෙරටේ පැවැති යුද්ධය නිසා පසුගිය කාලය පුරාම මාධ්‍යවල ප්‍රධාන පුවත් වූවේ යුද්ධයට සම්බන්ධ තොරතුරු. නමුත් දැන් යුද්ධය අවසන්. ඒ නිසා මාධ්‍ය උත්සාහ කරන්නේ තම වෙළෙඳ අරමුණු ඉටුකර ගන්න අපරාධ උලුප්පලා පෙන්වන්න.

එදා ජනගහනය හා අද ජනගහනය අතර විශාල පරතරයක් තිබුණත් එදා සිදුවූ අපරාධ හා අද සිදුවන අපරාධ දිහා සාපේක්ෂව බැලීමේදී සංඛ්‍යාත්මක වැඩි වෙනසක් නැති බව පැහැදිලි වෙනවා. අපරාධ වැඩි කර පෙන්වන්නේ මාධ්‍ය. ඇතැම් විට එකම මිනීමැරුම පිළිබඳ වරින්වර ප්‍රචාරය කරනවා. එහෙම අවස්ථාවලදී රටේ ජනතාව හිතන්නේ දිනපතාම අපරාධ සිදුවෙනවා කියලා.

අපරාධ උලුප්පලා මාධ්‍ය තුළින් සමාජයට දීම හානි කරයි. මේවා චිත්‍රපටයක්, නවකතාවක් ලෙස රසවත්ව හෙළි කිරීමත් අපරාධයක්. විවිධ අපරාධ සිදුකළ ආකාරය මාධ්‍ය තුළින් පෙන්වීමෙන් තවත් කෙනෙක් එවැනි අපරාධ සඳහා පෙලඹීමට ඉඩ තිබෙනවා.

අපේ රටේ මෙපමණ බණ කියන නිසාත් ශාසනය රැක ගන්න ස්වාමින් වහන්සේලා දරන උත්සාහය නිසාත් තමයි අපේ රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය මෙතරම් හෝ රැකිලා තිබෙන්නේ. තවමත් ලංකාව තුළ මහින්ද හිමියන් ඇතිකළ ආගමික විප්ලවයක් එමඟින් ඇති වූ බෞද්ධ සංස්කෘතියත් ආරක්ෂා වෙලා තිබෙනවා.

වර්තමානයේ අපේ සමාජයේ නීතිරීති සකස් වී ඇති ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය හැකි ද?

වර්තමාන සමාජ නීතිරීති සකස්වී තිබෙන්නේ ඵලයට පිළියම් කිරීමටයි. නමුත් අත්‍යවශ්‍යයෙන් ම සිදුවිය යුත්තේ හේතුව සොයා එයට පිළියම් කිරීමයි. බුදු හාමුදුරුවෝ පවා චක්කවත්තී සීහනාද සූත්‍රයේ දේශනා කර තිබෙන්නේ් යම් කෙනෙකුගෙන් අපරාධයක් හෝ වරදක් සිදුවී නම් දඬුවමට පෙර එසේ වීමට හේතුව සොයා බලා එයට පිළියම් යොදන ලෙසයි.

එසේම බලවතා ඉදිරියේ යුක්තිය දුබලවීමක් අද නීති පද්ධතිය දෙස බැලූවිට පෙනෙනවා. මුදල, බලය, නිලය හමුවේ යුක්තිය හා සධාරණය යටවේ නම් එයින් අසරණ වන්නේ දුබල පිරිස. යුක්තිය පැහැදිලි විය යුතුයි. පිරිස තුළ වෛරය, ක්‍රෝධය ඇතිවී ඔවුන් නීතිය අතට ගැනීමට පෙලඹෙන අවස්ථා තිබෙනවා. එවිට සිදුවෙන්නේ අපරාධ හා සමාජ දූෂණවලට නිරායාසයෙන්ම මිනිසා පෙලඹීමක්. මෙය ඉතා බරපතළ තත්ත්වයක් දක්වා උද්ගත විය හැකියි.

යහපත් හා ගුණගරුක සමාජයක් ඇතිකිරීම උදෙසා “තාවකාලික පැවිදි ක්‍රමය” ලංකාවට හඳුන්වාදීම කාලෝචිත ද?

මිහිඳු හාමුදුරුවෝ අපිට ලබාදුන්න ධර්මය හා ශාසනය රැක ගනු ලබන්නේ පැවිදිවී සිටින භික්ෂූන් වහන්සේලායි. එමෙන්ම තාවකාලික වශයෙන් පැවිදි දිවියට ඇතුළත් වීමෙනුත් යම් කෙනෙකු ගුණ ධර්ම අතින් යහපත් පුද්ගලයෙකු බවට පත් වෙනවා. විශේෂයෙන් ම මේ තාවකාලික පැවිදි ක්‍රමය දැනට ක්‍රියාත්මක වන්නේ තායිලන්තය, කාම්බෝජය හා බුරුමය වැනි බෞද්ධ රටවල. එහි සෑම පිරිමියෙකුම කිසියම් කෙටි කාලයකට හෝ පැවිදිව සිටීම ප්‍රබල සමාජ පිළිගැනීමක්. බෞද්ධ සමාජ ක්‍රමයට අනුව ගුණවෘද්ධ වීම වයෝවෘද්ධ වීමට වඩා වැදගත් කොට සැලකීම මෙයට හේතුවයි.

ලංකාවේ භික්ෂුවක් පැවිදි වූ පසු උපැවිදි වීම පාපයක් ලෙසයි සලකන්නේ. එවැනි වටපිටාවක් තුළ තාවකාලික පැවිද්ද මෙරට බෞද්ධ සංස්කෘතියට ගැළපෙනවා ද?

ලංකාවේ භික්ෂුවක් උපැවිදි වුවහොත් ඔහු පරාජිතයෙක් ලෙස සැලකුවා. නමුත් එම පැවිදි කාලසීමාව තුළ ලබාගත් ශිෂ්ටසම්පන්න බව ධර්ම දැනුම මුළු ජීවිත කාලයටම උපකාරි වෙනවා. දැන් බලන්න තායිලන්තය වැනි රටවල කිසියම් කෙනකු පැවිදි බිමට ඇතුළත් වූවාට පසු දිවි ඇතිතාක් පැවිදිව සිටීමට අපහසුනම් ඕනෑම අවස්ථාවක උපපැවිදි වීමට හැකියාව තිබෙනවා. මෙහිදී කිසිදු සමාජ විරෝධතාවක් පැන නඟින්නේ නැහැ. එමෙන්ම එම තැනැත්තා සමාජයේ විශේෂ ගෞරවයට ද පාත්‍ර වෙනවා. මෙයට ප්‍රධාන හේතුව වන්නේ කිසියම් වූ කාලයක් යම් කිසිවෙක් පැවිදිව සිටියහොත් ඔහු තුළ මුළු බැසගන්නා සදාචාර සම්පන්න චර්යාධර්ම නිසා ඔහුගෙන් සමාජයට කිසිදු අයහපතක් සිදු නොවේ යන විශ්වාසයයි.

එවැනි අය විවාහයට ඇතුළත් වන අවස්ථාවේදී මනාලියගේ දෙමාපියන් මනාලයා තාවකාලිකව පැවිදිව සිටීම පිළිබඳ දැනගත් පසු විශේෂත්වයක් දක්වන අතර එය විශේෂ සුදුසුකමක් සේ සලකනවා. මෙසේ පැවිදි බිමට ඇතුළත් වි සිටි කෙනකු තුළ ගොඩනැඟෙන සදාචාරාත්මක ගුණ වගාව නිසා සිය බිරීඳත්, දරුවනුත් පෝෂණය කරමින් යහපත් ස්වාමිපුරුෂයෙකු මෙන්ම යහපත් පුරවැසියකු සේ කටයුතු කරනු ඇතැයි විශ්වාසය ඇතිකරනවා.

එම නිසා ලංකාවේ තරුණ පරපුර සුමගට ගැනීමට ද වර්තමාන සමාජ ගැටලුවලට පිළියමක් ලෙස ද තාවකාලික පැවිදි ක්‍රමය හඳුන්වා දිය බවයි මගේ හැම.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා