ආශ්චර්යයේ ගුවන්තොට මත්තල

ආශ්චර්යයේ ගුවන්තොට මත්තල

ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පත්කරන බවට 2005 නොවැම්බර් 17දා ජනවරම ලබා ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නේය.

ඒ වනවිට 30 වසරක් පුරා මෙරට ජන ජීවිත ගිලගත් රට ලෙයින් හා කඳුළින් තෙත් කළ කුරිරු ත්‍රස්තවාදයේ ගිනිදැල් ඇවිලී තිබූ බව අපට අමතක කළ නොහැක.

ජනතාවට දුන් පොරොන්දුවක් ලෙසින්ම 2009 මැයි 18දා ත්‍ර‍ස්තවාදය මෙරටින් තුරන් කිරීමට මෙම අභීත නායකත්වයට හැකි විය. විශ්වයම විශ්මිත කළ ඒ විජයග්‍රහණය තමනට රට භාරකළ ශ්‍රී ලාංකේය ජනතාවට ලබාදුන් ජනපතිවරයා ආසියාවේ ආශ්චර්ය කරා රට රැගෙන යාමේ සංග්‍රාමය දිනෙන් දින කඩිනම් කළේය.

ශුෂ්ක දේශගුණයකින් යුත් ඝන වනාන්තරයක් මැදට අති නවීන පහසුකම්වලින් යුත් ගුවන් යානයක් ගොඩබස්වනු ඇතැයි හම්බන්තොට, මත්තල ප්‍රදේශයේ වෙසෙන දිළිඳු ජනයා කිසි දිනක සිතන්නට නැත.

මාර්තු මස 18 වැනිදා ජනතාවගේ දෝතට මෙවැනි ඓශ්චර්යයක් කිසිදා එක්වන බවට මෙම ප්‍රදේශයේ ජනයා කිසිදා සිතන්නට නැත.

ඇත්තෙන්ම එය ඓශ්චර්යක් බව නොකියාම බැරිය. අප කුඩා කළ කතරගම යන මාර්ගයේ පිහිටා තිබූ මත්තල අති දුෂ්කර ගම්මානයකි. ශුෂ්ක දේශගුණයකින් යුත් රළු කර්කශ භූමියක බඳගිරියේ වැව අසබඩ ඉදිවූ සුවිසල් මන්දිරය ඓශ්චර්යයක් බව පුන පුනා කිව යුතුයි.

දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපලක අවශ්‍යතාවය මෙයට බොහෝ කලකට පෙර සිටි රාජ්‍ය නායකයින් පවා හඳුනාගෙන සිටියේය. එහෙත් එය යථාර්ථයක් බවට පත්කරලීමේ අවශ්‍යතාවය හඳුනා ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. 2009 නොවැම්බර් 27 වනදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම් ආරම්භ කළේය. පංච කේන්ද්‍රීය සංවර්ධන ඉලක්ක කරා තම අවධානය යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම (Village in the jungle) කෘතිය කියවූ අයකුට ලොවටම දිය හැකි ආදර්ශයේ පණිවිඩය ලබාදී තිබේ. එදා බැද්දේගම කෘතියේ ඒ අවට පරිසරය, ජීවත්වූ මිනිසුන් පිළිබඳව කියවූ අයකුට මෙවන් වූ ඉදිකිරීම් දැක ඉගෙන ගත හැකි බොහෝ දේ තිබේ.

නිල් ගුවන ජයගනිමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් වෙත පැවරූ වගකීම මැනවින් ඉටුකරගන්නට පෙරමුණ ගත්තේ සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාය. ඔහු පසුපස සිටි යෝධ හස්තයක් ලෙසින් ක්‍රියා කළ එහි භාරදුර වගකීම සිය සුරතට ගත් ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය මහතා තම වගකීම මැනවින් ඉටුකර ඇති බව නව ගුවන්තොටුපළ පරිශ්‍රයට ප්‍රවිෂ්ට වන ඕනෑම අයකුට වටහා ගත හැකි වේ.

මෙම ඓශ්චර්යය කරා ළඟාවීම උදෙසා දහදිය පොදක් හෙළූ සියලුම දෙනා රණවිරුවන් සේම අනර්ඝ බව කිය යුතුය. ඔවුන් හෙළූ දහඩිය එක් නොවන්නට වසර තුනක් වැනි මෙතරම් කෙටි කාලයක් තුළ මේ ඓශ්චර්යය ලොවට ලබාදීමට හැකි නොවනු ඇත.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙනු ලැබූයේ කවදත් ශ්‍රී ලංකාවට ආදරය කළ චීන රාජ්‍යයෙනි. පළමු අදියර හෙක්ටයාර් 800ක භූමිභාගයක ඉදිවී තිබේ.

පරිසර හිතකාමී ලෙස ඉදිවූ මේ ගුවන්තොටුපළ විදේශිකයන්ගේ නෙත් සිත් වශීකරනු ඇත. එයට හේතුව වන්නේ පලු, වීර, තේක්ක, නැඳුන් ආදී නේක තුරුලතාවන්ගෙන් පිරුණු සහ වනාන්තරයේ අසිරිය දර්ශනය වන හෙයිනි. කුරුල්ලන් ඇතුළු සත්ත්ව සමූහයාද මොවුන්ට දැකබලාගත හැකි වනු ඇත.

හම්බන්තොට ප්‍රධාන නගරයට එක් පසෙකින් ඉදිවූ දැවැන්ත වරාය මෙවන්ම වූ ඓශ්චර්යයක් කියාපෑවේය. නගරයට කිලෝමීටර 20ක දුරින් පිහිටි අන්තර්ජාතික ගුවන්තොටුපළ දේශීය ඉංජිනේරු ගෘහ නිර්මාණ ශිල්පය යොදා මනාවට ඉදිකර තිබේ. අපටම ආවේණික වූ අනන්‍යතාවයක් මෙම ඉදිකිරීම් තුළ දැකගත හැකිවීම සුවිශේෂීත්වයකි.

ගුවන්තොටුපළට ප්‍රවිශ්ඨ වන මොහොතේම සිහියට නැගෙන්නේ තරුපහේ හෝටලයකට ප්‍රවිශ්ඨ වන ආකාරයයි. ඒ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල වේ. වෙනමම ලොවකට සිත් රැගෙන යන පර්යන්ත ගොඩනැගිල්ලද ඉදිවී ඇත්තේ අප රටට විශේෂ වූ දේශීය තාක්‍ෂණය යොදාගෙනය. ඇතුල්වීමේ හා පිටවීමේ පර්යන්තය දිගු අලංකාරවත් වූ කොරිඩෝවකින් සම්බන්ධ කෙරේ.

රට අභ්‍යන්තරයේ ගමන්කරන මගීන්ට වෙනම පහසුකම් සලසා ඇත. ඉහළ මාලයට පිවිසීමේදී දුටුවන් සිත් වශීකරවන අලංකාර සිවිලිම නවීන තාක්‍ෂණය යොදා නිර්මාණය කර තිබේ.

ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය ගුවන් මගියකුට අනෙක් ගුවන් යානයට ප්‍රවිශ්ඨ වීමට පෙර නැරඹිය හැකි එළිමහන් උද්‍යානයක් ද ස්ථාපිත කර ඇති අතර මෙහි ඉදිරි සංවර්ධන ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමුකර ඉදිකිරීම් කර තිබේ. දෙවන හා තෙවන අදියර ඉදිකිරීම් සිදුකළ හැකි අයුරින් සියලු ඉදිකිරීම් සිදුකර ඇත.

පළමු අදියර මීටර 3500ක් දිගින් හා මීටර 75ක් පළල ධාවන පථයකින් සමන්විත වන අතර ගුවන් යානා 9ත් 11ත් අතර ප්‍රමාණයකට පහසුකම් සැපයිය හැකි ගගන යාත්‍රාංගණයක්ද වේ. පර්යන්ත ගොඩනැගිල්ල වර්ග අඩි දසදහසකි. වාර්ෂිකව ගුවන් මගීන් 100,000 කට පහසුකම් සැපයීමට සියල්ල සූදානම් කොට ඇති බව සිවිල් ගුවන්සේවා ඇමති පියංකර ජයරත්න මහතා සඳහන් කළේය.

මෙමගින් ලැබෙන වාසි බොහෝ වන අතර පසුකාලීනව ආර්ථික මර්මස්ථානයක් බවට මෙම ගුවන්තොටුපළ පත්වන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සෘජු හා වක්‍ර රැකියා උත්පාදනය වීම මඟින් එම ප්‍රදේශවල ජනතාවට මහත් සැනසීමක් උදාවනු ඇත. ගුවන්තොටුපළට සාපේක්ෂව නව ප්‍රවේශ මාර්ග ඉදිවී ඇත. නව ව්‍යාපාර බිහිවීම, නව කර්මාන්ත බිහිවීම, සංචාරක කර්මාන්තය වර්ධනය වීමද මෙමගින් සිදුවේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අති දුෂ්කර ප්‍රදේශයට තම යුතුකම් මනාව ඉටුකළ රාජ්‍ය නායකයෙකි. එදා නූගත් ජනතාවක් සිටි එම ප්‍රදේශයෙන් මෙවර උසස් පෙළ විද්‍යා හා ගණිත ප්‍රථමයන් ද බිහිවූයේය.

මෙම භූමියේ ඉදිවූ අති නවීන සන්නිවේදන කුලුන, පාලක මැදිරි, ගගන යාත්‍රාංගනය, ප්‍රධාන පර්යන්තය ඇතුළු පහසුකම් දකින මෙම ප්‍රදේශයේ දරුවන් ඇතුළු රටේ සමස්ථ දරුවන්ට මෙම ආඩම්බරකාර තාත්තා පිළිබඳව නිහතමානී ආඩම්බරයක් ඇතිවනු නිසැකය. හොඳම දේ දරුවන්ට දීමට සෑම විටම මේ ආඩම්බරකාර පියා ක්‍රියාකරනු අප දැක තිබේ. අපේ කාලය අප ගතකොට අවසන් වෙමින් පවතී. අප කුඩා කාලයේ මේ ඓශ්චර්යය අපට පෙන්වන්නට සමත් රාජ්‍ය නායකයකු සිටියේ නැත. මේ කාලයේ දරුවන්ට හෙට දවස ආලෝකමත් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගන්නා උත්සාහය ඉතිහාස පොතේ රන් අකුරින් ලියා තැබෙනවා ඇත.

නිල් ගුවනේ සැරිසරන ගුවන්යානා දිනකට එකක් සේවා ලබාගැනීමට ගුවන්තොටුපළට පැමිණියහොත් වසරකට ගුවන්යානා 365ක්, වසරකට ලක්‍ෂ 5ක් පමණ ගුවන් මගීන්ට සේවා සැපයුවහොත් අපේ රටට අත්වන ආර්ථික වාසිය කොපමණ වේද?

ලැබූ නිදහස අර්ථවත් කරමින් මහින්ද චින්තන සංකල්පයට අනුව භූගෝලීය වැදගත්කම් හඳුනාගනිමින් ඒ පිළිබඳ පෙරනිමිති දැක ඉන් ලැබෙන වාසි හඳුනාගෙන ශ්‍රී ලංකාවට සමෘද්ධිය හා සංවර්ධනය ළඟාකරමින් අන්තර්ජාතික හම්බන්තොට වරාය, කොළඹ ගාල්ල අධිවේගී මාර්ග මෙන්ම අන්තර්ජාතික ගුවන්තොටුපළ දැයට තිළිණ කළ අභීත නායකත්වයට අපේ උත්තමාචාරය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා