අප්‍රිකාවත් සෙසු කලාප රටවල් සමඟත් පැරැණි මිතුදම් අලුත් කර ගැනීම අපේ විදෙස් පිළිවෙතේ දිශානතියයි

අප්‍රිකාවත් සෙසු කලාප රටවල් සමඟත් පැරැණි මිතුදම්
අලුත් කර ගැනීම අපේ විදෙස් පිළිවෙතේ දිශානතියයි

කෙන්යා ජනපති සමඟ සාකච්ඡාවේදී ජනපති මහින්ද රාජපක්ෂ කියයි

* 2005 මුල්වරට ජනපති වූ දා සිට මේ ගමන ඇරඹුවා
* කෙන්යාවට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයායි
* නයිරෝබියේ ත්‍රස්ත ප්‍රහාර කිසිසේත් අනුමත කරන්නේ නෑ
* ත්‍රස්තවාදය පිටුදැකීමට ගෝලීය ප්‍රජාව එක්විය යුතුයි

අප්‍රිකාවේ සහ සෙසු කලාපවල රටවල් සමග පැරණි මිතුදම් අලූත් කොට ගැනීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ නව දිශානතිය වී තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. තමා 2005 දී මුල්වරට ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මේ පිළිවෙත ආරම්භ කළ බවත් ජනාධිපතිතුමා පැවසීය.

කෙන්යාවේ සිව් දින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ නයිරෝබි නුවර රාජ්‍ය මන්දිරයේ දී එරට ජනාධිපති උහුරු කෙන්යාටා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට පෙරේදා (14) එක්වෙමිනි.

කෙන්යාවට පැමිණි ප්‍රථම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන ජනාධිපති රාජපක්‍ෂ මහතා පිළිගැනීමට ලැබීම කෙන්යාවට මහත් ගෞරවයකැයි පැවසූ ජනාධිපති කෙන්යාටා මහතා මේ චාරිකාව අප දෙරට අතර නොබිඳෙන මිත්‍රත්වයට කදිම සාක්‍ෂියක් බව පැවසීය.

බොහෝ පිරිසක් මරණයට පත් කරමින් පසුගිය සැප්තැම්බරයේ නයිරෝබි නුවර වෙස්ට් ගේට් සාප්පු සංකීර්ණයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ජෝමෝ කෙන්යාටා අන්තර් ජාතික ගුවන්තොටුපලේ පසුගිය දා හටගත් ගින්න පිළිබඳ සාකච්ඡා ආරම්භයේ දී ජනාධිපතිතුමා සිය බලවත් සංවේගය පළ කළේය.

කුමන ස්වරූපයක හෝ ත්‍රස්තවාදය අනුමත කරන්නට බැහැ. ඊට ගොදුරුවූවන් ලෙස උවදුර පිටු දැකීමට අප ගෝලීය ප්‍රජාව සමග එක්ව ක්‍රියා කළ යුතුයි ජනාධිපතිතුමා පැවසීය. නායකයෝ දෙදෙන දකුණු-දකුණු සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.

මෑතකාලයේ දී අප්‍රිකානු රටවල් සමග ශ‍්‍රී ලංකාවේ ආර්ථික හවුල්කාරිත්වය, වෙළෙඳාම හා ආයෝජනය ඉක්මවා ව්‍යාප්තවීම පිළිබඳ තමා සතුටු වන බව ජනාධිපති රාජපක්‍ෂ මහතා පැවසීය. දකුණු-දකුණු සහයෝගීතාව බෙහෙවින් සජීවී එකක් බව පැවසූ කෙන්යාටා ජනාධිපවරයා මේ සහයෝගීතාව නිසා අපේ හඬ උස්ව නැඟෙන බවත් අවශ්‍යතා ඉටුකර ගත හැකි බවත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ පැවති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක හමුව සාර්ථකව නිම වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලය දේශපාලන අභිලාශයනට වඩා ආර්ථික අරමුණු ඔස්සේ මෙහෙයවීම සිය අපේක්‍ෂාව බව කීය.  ධරණීය සංවර්ධන ප්‍රයත්නයේ දී සාධාරණත්වය හා සහභාගීත්වය අවධාරණය කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ජනාධිපති කෙන්යාටා මහතාගේ පැසසුමට ලක් විය.

ත්‍රස්තවාදය ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය කෙන්යා ජනාධිපතිතුමාට පැහැදිලි කළ රාජපක්‍ෂ මහතා අවතැන්වූවන් යළි පදිංචි කරවීම, විනාශ වූ යටිතල පහසුකම් යළි ඉදි කිරීම සහ පුනරුත්ථාපනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් දැනටමත් නිම කර ඇතැයි පැවසීය.

ජනතාව මුහුණපාන ගැටලු ආමන්ත්‍රණය කරනු පිණිස ස්ථාපනය කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක කර ඇති බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.  දෙරටේ දූත පිරිස් ශ්‍රී ලාංකිකයනට කෙන්යාවේත්, කෙන්යානුවන්ට ශ්‍රී ලංකාවේත් විවෘතව ඇති ආර්ථික සහ ආයෝජන ඉඩප්‍රස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

හුවමාරු වැඩසටහන් මඟින් ශ්‍රී ලංකාව සතු දැනුම සහ පලපුරුද්ද බෙදාගනිමින් කෙන්යාවේ පොල් කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමට උදව් කරන්නැයි ජනාධිපති කෙන්යාටා ඉල්ලීමක් කළේය. දෙරටම තේ නිෂ්පාදනයෙහි නිරතව සිටින බැවින් තේ කර්මාන්තය ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කළ හැකි තවත් ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගනු ලැබීය.

තරගකාරී සම්බන්ධතාවක් වෙනුවට විශාල තේ වෙළඳපොළවලට එක්ව පිවිසීමට හැකි වන පරිදි පොදු ක්‍රියාමාර්ගයක් සකස් කරගත යුතු බව යෝජනා කෙරිණ. ශ්‍රී ලංකාවේ චාරිකාවක් සඳහා එන්නැයි ජනාධිපති රාජපක්‍ෂ මහතා කළ ආරාධනය කෙන්යා ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, සිවිල් ගුවන්සේවා ඇමැති ගීතාංජන ගුණවර්ධන, ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා