ජාතියේ නමස්කාරය හිමිවිය යුතු ප්‍රකාශයක්!

ජාතියේ නමස්කාරය හිමිවිය යුතු ප්‍රකාශයක්!

ජිනීවාහි මානව හිමිකම් සැසිවාරය අද ආරම්භ වේ. එය අද සිට ලබන 26 දා දක්වා පැවැත්වීමට නියමිත ය. මේ අතර තවත් සිදුවීම් ගණනාවක් පෙ‍ළගැසී ඇත. එකක් නම්; ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම උදෙසා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රට හා ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ය. තව එකක් නම්; රිචඩ් මන්ඩ් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා එරට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් වීම ය. මානුෂීය මෙහෙයුමේ සැබෑ තත්ත්වය වාර්තා කරන “ද ලාස්ට් පේස්” නම් වාර්තා චිත්‍රපටයක් ද ඔහු විසින් නිර්මාණය කර තිබේ. තවත් දෙයක් වන්නේ රටට එරෙහි බත්බැලයන් මේ කාලය ජිනීවා වසන්තය ලෙස නම් කොට උඩ පැනීම ය.

කුමන විග්‍රහ ඉදිරිපත් වුව රටේ ඉදිරි ගමනේ බරපතළ වගකීමක් මහා සංඝරත්නය වෙත පැවරේ. අතීතයේ මෙන් ම අදත් - හෙටත් එය එසේ ම සිදුවනු ඇත. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් තොරව ස්ථාපිත වූ රජකු හෝ ආණ්ඩුවක හෝ ශ්‍රී ලංකාවේ පැවැතියේ නැත. පවතින්නේ ද නැත. ජිනීවා සමුළුවේ දී රටට හා නායකයාට එරෙහිව නැ‍ඟෙන චෝදනා වෙතොත්; එම අයුක්තියට විරුද්ධව කටයුතු කරන්නට සංඝ සමාජය පෙළගැසෙන බව ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ. කොටි සංවිධානය දළදා මාළිගාවට පහර දී අරන්තලාවේ දී භික්ෂු ඝාතනයක් ද සිදු කළ බව පෙන්වා දෙන මහා නායක හිමිවරු කොටින්ගේ ම්ලේච්ඡත්වය පසෙක ලා දෙමළ ජාතියට නිදහස ලබා දුන් අණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම වැරැදි බව කියා සිටිති.

රට, ජාතිය හා ශාසනය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ හිමිවරු එදත් වූහ. අදත් සිටිති. රටට එරෙහි දේශීය බලවේග මෙන්ම විදේශීය බලවේගද ඒ හිමිවරුන් විසින් නිවැරැදිව හඳුනාගන්නා ලදී. ද්‍රවිඩ ආක්‍රමණ පරාද කොට සිහසුන යළි වළගම්බා රජුට ලබා දුන්නෝ තිස්ස හිමියෝ ය. වීර අලකේශ්වර චීනයට නෙරපා හැර හයවන පරාක්‍රමබාහු සිහසුනෙහි තැබුවෝ වීදාගම මහා හිමියෝ ය. අපේ ඉතිහාසයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ රජුන් තැනීමට මෙන් ම රාජ්‍යත්වය තහවුරු කිරීමට ද මහ තෙරුන්ගේ සම්බන්ධයක් ඇති බව ය. භික්ෂු සමාජය නායකයන් ගේ උපදේශකයා ලෙස කටයුතු කළ බව අමතක නොකළ යුතු ය‍.

එදත් - අදත් භික්ෂු සමාජය තුළ තවත් වෙනස්කම් ද පැවැතිණි. ඇතැම් භික්ෂූන් සත්‍ය ලෙසම රටට හා ශාසනයට හිතකර සන්සුන් විලාසයකින් බුද්ධිමත්ව කටයුතු කළ අතර තවත් භික්ෂූන් කලහකාරී - ක්ෂණික ක්‍රියාවල යෙදී ඇත. ඒවා සමාජයට අහිතකර විය. අදත් මහමඟ සිදු කැරෙන සංඝ උද්ඝෝෂණ, පෙළපාළි හා උපවාස දැකිය හැකි ය. ඒවා බෙහෙවින් ආවේගශීලී වන අතර භික්ෂුවකට තරම් නො වේ. මේ තත්ත්වය වටහාගත් අමරපුර ශ්‍රී සද්ධම්මවංශික නිකායේ කාරක සංඝ සභාව ස්වකීය භික්ෂු සංඝයා සඳහා උද්ඝෝෂණ පෙළපාළි ආදිය තහනම් කළහ. අපි එය උදක් ම අනුමත කළෙමු. ඊට පැසසුම් කළෙමු.

මේ විකාර නැටීමට කාලයක් නො වේ, ආවේගශීලීව කටයුතු කිරීමට ද කාලයක් නො වේ. විශේෂයෙන් සමාජයට මඟ පෙන්වන හා අර්ථයෙන් - ධර්මයෙන් උපදේශන සපයන ආගමික නායකයන් බුද්ධිමත්ව ඉවසිල්ලෙන් හැසිරිය යුතු ය. මේ අතින් බලන විට අපේ ත්‍රෛනිකායික මහා හිමිවරුන් රටට හා ‍ජාතියට ආදර්ශයක් සපයා තිබේ. උන්වහන්සේ ඉදිරිපත් කළ ඒකාබද්ධ නිවේදනයත්; ඒ සඳහා දරන ලද සාමූහික ප්‍රයත්නයත් අගය කළ යුතු ය. ඒ බව නමස්කාර පූර්වකව සඳහන් කරනු වටී. අද අපට අවශ්‍ය වන්නේ බෙදුණු සමාජයක් නොව සාමූහික හා ඒකාබද්ධ සමාජයකි. එවන් සමාජයක් දුර්වල කිරීම දුෂ්කර ය.

අපේ නායක හිමි නමක් වරෙක කියා සිටියේ ගෙයි ගිනි පිටට නො දෙනු යන්න ය. එහෙත් අපේ දේශපාලකයන් මෙන් ම අනෙකුත් සමාජ ක්‍රියාධරයන් එලෙස කටයුතු කරන්නේ ද යනු මහත් ම ගැටලුවකි. හොරා‍ට පෙර කෙසෙල් කැන වැට පැනීමේ න්‍යාය අනුගමනය කළ දේශපාලකයෝ පිරිසක් ආර්ථික සම්බාධක සඳහා විශේෂෂඥ කමිටුවක් ද, යුද අපරාධ ගැන සෙවීම සඳහා අධ්‍යයන මණ්ඩලයක් ද පිහිටවිය යුතු යැයි ඉල්ලා සිටියහ. ජිනීවා සමුළුවේ තීන්දුව තව ම ප්‍රකාශයට පත් වී නැත. එම සමුළුවට පමණක් සම්බාධක පැනවීමේ හැකියාවක් නැත. සම්බාධක ගැන මෙතෙක් අමෙරිකාව සාකච්ඡා කර ඇත්තේ ද නැත. එහෙත් සියල්ලට කලින් අපේ ඇත්තන් සම්බාධක ගැන කතා කරනුයේ ජනතාව බිය ගැන්වීමට ද? නැතහොත් බෙදුම්වාදයට සහාය වීමට ද?

අප මුලින් ද සඳහන් කළ පරිදි ජිනීවා සැසිවාරය ඇතමකුට වසන්තයක් වී තිබේ. 2012 පමණ සිටම මාර්තු මාසය ඔවුන්ගේ වසන්ත කාලය වේ. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව නැ‍ඟෙන මානව හිමිකම්වලට අත්පොළසන් දීමට ය. මේ මානව හිමිකම් සැසියේ දී අපට පමණක් නොව තවත් රටවල් ගණනාවකට මානව හිමිකම් චෝදනා එල්ල වනු ඇත. ඒ ඒ රටවල් මීට මුහුණදීම සඳහා විවිධ උපායමාර්ග භාවිත කරති. සැලැකිය යුතු කරුණ වන්නේ අපට ම ආවේණික වූ ක්‍රම පද්ධතියක් අනුගමනය කිරීම ය. ශ්‍රී ලංකාව අයුක්තිසහගත ලෙස කොමිසමට හිස නමන්නේ නැත. එය වැදගත් ලක්ෂණයකි.

රටේ එක්සත්භාවයේ වටිනාකම හා ස්වාධීනතාව සමහර දේශපාලකයන්ගේ සැලැකිල්ලට ලක්වන්නේ නැත. ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කිරීම වෙනුවට සාමයෙන් නිදහස දිනාගැනීමක් ගැන ඔව්හු කතා කළහ. ඇතැම්විට නැඟුණු තර්කයක් වූයේ දෙමළ ජනයාට ස්වයං පාලන අයිතිය ලබාදීම සාධාරණ බව ය. මේ සියලු දේශපාලන විකාරවලට එරෙහිව සටන් කළේ ශාසනලැදි භික්ෂුවම ය. උන් වහන්සේගේ අධිෂ්ඨානය බලවත් විය. කැපවීම සුවිශේෂී විය. 2009 දී ශ්‍රී ලංකාව එක්සේසත් වූයේ අපේ ගෞරවණීය හිමිවරුන්ගේ ආශිර්වාදයත් සමඟ ය. එය කිසිකලෙක අමතක නොකළ යුතු සාධකයක් ලෙස පවතී.

අදත් භික්ෂු සංඝයාගේ ‍ආශිර්වාදය රටට හා ජාතියට නොවක් ලෙස අවශ්‍ය වේ. රටේ නායකයාට හා ආණ්ඩුවට ද එම ආශිර්වාදය අවශ්‍ය වේ. මහා නාහිමිවරුන් පවසා ඇත්තේ රටේ නායකයා, ආණ්ඩුව හා රට ආරක්ෂා කිරීමට සංඝ සමාජය ඒකාබද්ධ වී පෙරට එන බව ය. මේ කාලයේ අපට ඇසෙන වැදගත් ම ප්‍රකාශය එය බව කිව යුතු ය. රටත් ජාතියත් විදේශීය සතුරන්ගෙන් මුදාගැනීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන මහා සංඝරත්නයට ජාතියේ ම නමස්කාරය හිමි විය යුතුය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා