රජය සංවර්ධනයට මුල් තැන දෙනවිට විපක්ෂය සටන් පාඨ නැතිව දඟලනවා

රජය සංවර්ධනයට මුල් තැන දෙනවිට විපක්ෂය සටන් පාඨ නැතිව දඟලනවා

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමෙන් පසු රජය, රට සංවර්ධනය සඳහා විවිධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බවත් එම නිසා විරුද්ධ පක්ෂයට සටන් පාඨ නොමැතිවීමෙන් අලුත් විවිධ උපක්‍රම යොදාගන්නා බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ පසුගියදා හෝමාගම නගරයේ පැවති ජනහමු‍ෙව් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

ත්‍රස්තවාදී කුරිරු යුද්ධය නිමා කිරීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමා රට සංවර්ධනය කිරීමේ යුද්ධය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සෑම ආසනයකටම විශාල මුදලක් වෙන්කර තිබෙනවා.

හෝමාගමට මේ වසර සඳහා රුපියල් මිලියන 576ක් වෙන් කර තිබෙනවා. ඉතිහාසයේ නම් මේ මුදල වසර 10කට ලැබෙන්නේ නෑ.

ජනාධිපතිතුමා රට සංවර්ධනය සඳහා ප්‍රමුඛස්ථානය දෙන විට විරුද්ධ පක්ෂයට අද සටන් පාඨවල හිඟයක් තිබනවා. ඒ නිසා අලුත් අලුත් උපක්‍රම යොදවමින් සිටිනවා.

මාර්තුවේදී ජිනීවා සමුළුවට විවිධ මානව හිමිකම් උල්ලංඝනයවීම් නිර්මාණය කරනවා. ඒ සඳහා එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාවට තොරතුරු සපයනවා. කුමන චෝදනා ඉදිරිපත් කළත් ජනතාව රට ගලවාගත් නායකයා සමඟ ඉන්නවාය කියා ඔප්පු කිරීම සඳහා මේ මැතිවරණය ඉතා වැදගත් වෙනවා.

මේ නිසා ශ්‍රීලනිපයට ළැදිව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයෙක් වන ගාමිණී තිලකසිරි මැතිතුමාට ඔබේ මනාපය ලබා දෙන්න. කවදත් රජයට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාදෙන හෝමාගම ජනතාව මෙවරත් ඒ යුතුකම ඉටුකරාවිය කියා මම විශ්වාස කරනවා. පනාගොඩ ගුණරතනාරාමාධිපති පණ්ඩිත ආචාර්ය මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල හිමි සමඟ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උජිත ලොකුබණ්ඩාර, මැතිවරණ අපේක්ෂක ගාමිණී තිලකසිරි යන මහත්වරුද කතා කළහ. මේ අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති ඒ. ඩී. කුමාරසිරි, මන්ත්‍රීවරුන් වන රුවන් ප්‍රබෝධ පීරිස්, සුමිත් හපුආරච්චි, ඩික්ෂන් ගාමිණී, කැළුම් ප්‍රියංකර, අජිත් මාතරආරච්චි යන මහත්වරුද සහභාගි වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා