නිර්දේශ වැඩි ප්‍රමාණයක් රජය දැනටම ක්‍රියාවට නංවලා

උගත් පාඩම් ජනපති කොමිෂන් වාර්තාවේ

නිර්දේශ වැඩි ප්‍රමාණයක් රජය දැනටම ක්‍රියාවට නංවලා

අගවිනිසුරු මොහාන් පීරිස් අවධාරණය කරයි

මානව හිමිකම් සුරැකීමට දේශීය යාන්ත්‍රණයක්

ගැටලු විසඳීමේ දී ද.අප්‍රිකා අත්දැකීම් සලකා බලනවා

තිරසාර සාමයට මඟ අභ්‍යන්තර යාන්ත්‍රණයයි

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම හා ප්‍රවර්ධනය සඳහා ජාතික ක්‍රියාකාරී සැළසුම තුළින් දේශීය යාන්ත්‍රණයක් පිහිටුවා ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමමෝපායික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැති නෙල්සන් මැන්ඩෙලා "මඟේ අත්දැකීම්" යන මාතෘකාව යටතේ දකුණු අප්‍රිකානු විනිසුරු ආචාර්ය ඇල්බික් සච්ස් කළ දේශනයට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලුවට විසඳුම් සෙවිමේදී දකුණු අප්‍රිකාවේ අත්දැකීම් අවශ්‍ය පරිදි උපයෝගී කරගන්නා බවද මෙහිදී අගවිනිසුරුවරයා පැවසීය.

එකිනෙකා මත රඳාපැවතීම සහ එකිනෙකා අතර බෙදීම් ඇතිවීම වෙනුවට ස්වයං විශ්වාසය මත නීතියේ කාර්යභාරය වැඩිදියුණු කළයුතු බවට ආචාර්ය සච්ස් විසින් සිය දේශනයේදී කරුණු දක්වා තිබේ.

ජගත් සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතා‍ විසින් ප්‍රකාශකළ පරිදි රටකට ගෞරවනීය සහ තිරසාර සාමයක් උදාකර දියහැක්කේ අභ්‍යන්තර යාන්ත්‍රණයකින් බව අගවිනිසුරුවරයා සිහිපත් කළේය. ජගත් සංවිධානය හෝ වෙනත් භාහිර ආයතනයකට මේ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ නොහැකි බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

ප්‍රතිසංධාන ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා දකුණු අප්‍රිකාව කැමැත්ත පළකිරීම අගවිනිසුරුවරයාගේ පැසසුමට ලක්විය. අපගේ අරමුණ වී තිබෙන්නේ සෑම පුද්ගලයෙකුටම නිදහසේ සහ ගෞරවාන්විතව ජීවත්වීමේ පරිසරයක් උදාකරදීම බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධිකරණ ඇමැති රවුෆ් හකීම්, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් ජෙයොෆ් ඩොයිඩ්, කොළඹ නීති සංගමයේ සභාපති අමල් රන්දෙනිය මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා