දැයට කිරුළ 2014 බලන්න ලක්ෂ 32ක ජනතාවක්

දැයට කිරුළ 2014 බලන්න ලක්ෂ 32ක ජනතාවක්

වැඩිම ජන සහභාගීත්වය ලෙස ඉතිහාසයට

වාර්තාගත ලක්ෂ 32ක ජනතාවක් නැරැඹූ කුලියාපිටිය දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අට වසරක ප්‍රදර්ශන ඉතිහාසයේ වැඩිම ජන සහභාගීත්වයක් ලැබූ ප්‍රදර්ශනය ලෙසින් ඉතිහාසයට එක්වෙයි.

අනුරාධපුරය, ඔයාමඩුව ප්‍රදර්ශනයට පැමිණි ලක්ෂ තිහක ජනතාවක් විසින් දැයට කිරුළ ඉතිහාසයේ වැඩිම ජන සහභාගීත්වය ලෙසින් තබා තිබූ වාර්තාව මෙවර බිඳී ගියේය.

ප්‍රදර්ශනය නැරැඹීමට වැඩිම ජනතාවක් පැමිණි දිස්ත්‍රික්කය ලෙසින් කුරුණෑගල දිස්ත්‍රික්කය සටහන් විය. කුරුණෑගලින් පැමිණි නරඹන්නන් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවිය.

ලක්ෂ 6කට අධික ජන සංඛ්‍යාවක් ප්‍රදර්ශනය නැරැඹූ පෙබරවාරි මස 27 වැනි දිනය වාර්තා පොතට එක් වූයේ එක් දිනක් තුළ දැයට කිරුළ නැරැඹූ වැඩිම ජන සංඛ්‍යාව ලෙසිනි.

සමාප්ති දිනයේ මාධ්‍ය කලාපයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ දැයට කිරුළ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට මාධ්‍යවේදීන්ගෙන් ලැබුණු සහයෝගය මහත් පිටුවහලක් වූ බවය.

ජනතාව දැනුවත් කරමින් සියලු මාධ්‍ය ආයතන ලබා දුන් සහයෝගයට ස්තුතිය පළ කළ ඇමැතිවරයා මෙමස 10 වැනිදා යළිත් කුලියාපිටිය දැයට කිරුළ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ ප්‍රදර්ශනයෙන් ජනතාවට ලැබුණු පහසුකම් සහ භූමිය නැවත යථා තත්ත්වයට පත් කර තිබෙන අයුරු නිරීක්ෂණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවට ලබා දෙන බව පැවසීය.

සෑම දිස්ත්‍රික්කයකින්ම මෙවර ප්‍රදර්ශනය නරඹන්නට ජනතාව පැමිණ සිටි අතර යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මන්නාරම යනාදී වශයෙන් උතුරෙන් මෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල වැනි දකුණෙන්ද ජනතාවට කුලියාපිටියට පැමිණ තිබීම සුවිශේෂී කරුණකි.

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. ජී. හිටිසේකර මහත්වරු ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා