ග්‍රාමීය කුසලතා ඔප් නංවන්න කැපවු කාල්ටන් ක්‍රීඩා උළෙල 7වැනිදා සිට

ග්‍රාමීය කුසලතා ඔප් නංවන්න කැපවු කාල්ටන් ක්‍රීඩා උළෙල 7වැනිදා සිට

සියලු ආදායම් ක්‍රීඩකයන්ට අතදෙන විශේෂ අරමුදලකට

ග්‍රාමීය තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අරමුණින් “තාරුණ්‍යයට හෙටක්” සංවිධානය අටවැනි වරටත් මෙහෙයවන කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් ක්‍රීඩා උළෙල මේ මස 7,8 හා 9 දිනවල තිස්සමහාරාමයේදී පැවැත්වේ.

කාල්ටන් සුපර් ස්පෝර්ට් ක්‍රීඩා උළෙලින් ලැබෙන සියලු ආදායම් ක්‍රීඩාවේ ඉදිරියට පැමිණෙන දරුවන්ට අතදෙන අරමුදලකට බැර කිරීමට තරුණ්‍යයට හෙටක් සංවිධානය පියවර ගෙන ඇත. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරුණ්‍යයට හෙටක් සභාපති නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මේ විශේෂ අරමුදල පිහිටුවා ඇති අතර පසුගිය වසර කිහිපයක් තිස්සේ ලක්ෂ ගණනින් නැඟී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආධාර පිරිනමා තිබේ.

තිස්සමහාරාම ධාවන පථයේදී මවුන්ටන් පාපැදි තරග, ෆෝ බයි ෆෝ තරග, මෝටර් රථ හා මෝටර් සයිකල් ධාවන තරග, තිස්ස වැව ආශ්‍රීතව ඔරු පැදීම හා තුන් ප්‍රයාම තරග, තිස්ස වැව් තාවුල්ලේදී බොක්සිං තරග හා කඹ ඇදීමේ තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ සියලු ක්‍රීඩා තරග අධීක්ෂණය අදාළ ක්‍රීඩා සම්මේලන මගීන් සිදු කෙරෙන අතර කාල්ටන් ක්‍රීඩා සමාජයද සහයෝගය දක්වයි. ෆෝ බයි ෆෝ තරගාවලියට යාල වනෝද්‍යානයේ සැරි සරන සෆාරි ජීප් රථ සහභාගීත්වයෙන් විශේෂ තරගයක් පැවැත්වීම විශේෂත්වයකි. රුවල් ඔරු තරගයට කොළඹ රාජකීය, ගල්කිස්ස සාන්ත තෝමස්, වත්තල ලයිසියම් හා වැලිගම මිරිස්ස මධ්‍ය මහා විදුහල සහභාගී වෙති. මේ තරගවලට 15න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට පියවර ගෙන තිබේ.

ඔරු පැදීමේ තරග තිස්ස වැවේ මීටර් 500ක් දුර පැවැත්වෙන අතර එය කෙටිදුර වේගවත් හා උද්යෝගිමත් තරග අංශයක් ලෙස සංවිධානය කර ඇත. එයට සමගාමීව පාසල් සිසුන් රැසකට ඔරු පැදීමේ වැඩමුළු පැවැත්වීමටද පියවර ගෙන තිබේ. කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් ක්‍රීඩා උළෙලේ ජනප්‍රිය තරග අංශයක් වු මවුන්ටන් පාපැදි ඉසව් 18ක් මෙවර පැවැත්වෙන අතර කිලෝමීටර් 2.5ක බාධක සහිත ධාවන පථයක් ඒ සඳහා යොදා ගැනේ. දෙබරවැව මංසන්ධියේ සිට ඇරඹෙන මවුන්ටන් පාපැදි තරග ඉසව් අතරට විනෝදාත්මක පාපැදි තරග ඉසව්වක් පැවැත්වේ. එයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1250ක් පමණ එක්වනු ඇතැයි විශ්වාස කෙරේ. රුපියල් ලක්ෂ 6.5ක මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ස්ථාවර බැංකු ගිණුම් තෑගි වශයෙන් පිරිනමා අනාගතය සුරක්ෂිත කිරීම තවත් පියවරක්වි තිබේ. පසුගිය වසරවලදී මෙන් තරග ආරම්භවන 7වැනිදා අයැදුම්පත් නිකුත් නොකෙරෙන අතර 6වැනිදා තෙක් [email protected] මගින් අයැදුම්පත් යොමු කළ හැකිබව සංවිධායකයෝ පවසති.

කඹ ඇදීමේ තරග ලීග් ක්‍රමයට කිලෝග්‍රෑම් 640 බර පන්තියෙන් පැවැත්වේ. මේ වනවිට කණ්ඩායම් 20ක් අයැදුම්පත් යොමුකොට ඇතැයි සඳහන් වේ.

තුන් ප්‍රයාම තරගය අවුරුදු 18ට වැඩි ක්‍රීඩකයන්ට විවෘත වන අතර මීටර් 750ක් පිහිනුම්, කිලෝමීටර් 20ක් පාපැදි ධාවනය හා කිලෝමීටර් 5ක් මාර්ග ධාවනය ඇතුළත් වේ. මෝටර් රථ ධාවන තරගවලදී 3500cc සිට 1500cc දක්වා තරග පැවැත්වෙන අතර විවෘත තරග ඉසව්වක්ද එක් කිරීමට පියවර ගෙන ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා