වාහනවල පොත් බණ්ඩල් පිටින් RMV එකෙන් උස්සන 6ක් දැලේ

වාහනවල පොත් බණ්ඩල් පිටින් RMV එකෙන් උස්සන 6ක් දැලේ

එක පොතක් රු. 5000 බැගින් විකුණලා

මහ මොළකාරිය 38 හැවිරිදි කතක්

ව්‍යාජව සැකසූ නිල මුද්‍රා රැසකුත් අත්අඩංගුවට

වාහන මිල දී ගැනීමේ දී දැඩි ලෙස සැලකිලිමත් වන්නැයි උපදෙස්

කොළඹ වංචා විමර්ශන අංශයෙන් පුළුල් පරීක්ෂණ

මෝටර් රථයක අනන්‍යතාව සම්පූර්ණයෙන් ඇතුළත් කෙරෙන වාහන පොත් බණ්ඩල් පිටින් සොරකම් කර එකක් රුපියල් පන්දහස බැගින් විකුණන දැවැන්ත වාහන ජාවාරමක කොටස්කරුවකු ලෙස කටයුතු කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරකු ඇතුළු හය දෙනකු කොළඹ වංචා විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කල්ලිය මෙහෙයවා ඇත්තේ ශ්‍රී දේවි සෙල්වදොරේ නොහොත් නජ්ලා අකීල් රෙහානා නමැති 38 හැවිරිදි කාන්තාවකි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු ගණකාධිකාරිනියගේ රියදුරා වූ නා කුලුගමගේ කරුණාසේන නමැත්තා වාහන පොත් දෙපාර්තමේන්තුවෙන් පන්නා මෙම ජාවාරම්කාරියට විකුණා තිබේ. ඇය මෙම වාහන ජාවාරම පමණක් නොව තවත් මූල්‍ය වංචා රැසක් සිදුකර තිබේ.

දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයාගේ අත්සන සහිත නිල මුද්‍රාව කිරුලපන පොලිස් ස්ථානාධිපතිගේ නිල මුද්‍රාව තක්සේරුකරුවකු සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිල මුද්‍රා ගණනාවක් සහ එසේ විකුණූ පොත්වලට සොරකම් කළ වෙනත් වාහනවල අංක යොදා සකස් කළ පොත් රැසක්ද සොයාගෙන තිබේ.

මෙම කල්ලිය වරින්වර වාහන කුලියට දෙන ආයතනවලින් මෝටර් රථ ලබාගෙන ඒවාට ටික කලක් කුලිය ගෙවමින් පසුව සොරකම් කළ වාහන පොත්වලට ව්‍යාජ ලෙස වාහනයේ නියම අයිතිකරුගේ නම යොදා ව්‍යාජ හැඳුනුම්පත් මගින් අලෙවි කර තිබේ.

පුවත්පත්වල දැන්වීම් පළකර ඒ හරහා ජාවාරම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.

වාහනවල නියම පොත්, මුද්‍රා සහ හිමිකරු සම්බන්ධව පරිගණකයේ අඩංගු ඇතැම් තොරතුරු මෙම ව්‍යාජ පොත්වලද අඩංගු නිසා පුවත්පත් දැන්වීම් හරහා වාහන මිලදී ගත් විශාල පිරිසක් මෙම ජාවාරම්කරුවන්ට හසුවී තිබේ.

කොළඹ වංචා විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරගෙන යද්දී ජාවාරමේ සුළමුල හෙළිවී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

වාහනයක් මිලදී ගැනීමේදී එහි අයිතිකරු රථය ලිපිනයන් ආදිය පිළිබඳ දැඩිලෙස සොයාබලන ලෙස අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම්දෙයි.

‍කොළඹ වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආනන්ද අල්විස් මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ප්‍රියංකර සිල්වාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන පොලිස් පරීක්ෂක විජේනායක, ඒකක 2 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල්, සැරයන් කුරුප්පු, පොලිස් කොස්තාපල්වරුන් වන විමලසිරි, නිරෝෂන් සහ අබේරත්න යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා