ශ්‍රී ලංකාව ගැන පිල්ලේගේ වාර්තාවට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාර ඇතුළත් කර නෑ

ශ්‍රී ලංකාව ගැන පිල්ලේගේ වාර්තාවට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාර ඇතුළත් කර නෑ

අද ඇරඹෙන මානව හිමිකම් කවුන්සලයේදී ප්‍රශ්න කිරීමට යයි

‍ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ‍ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අන්තර්ගත නොකිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සලයේදී ප්‍රශ්න කිරීමට රජය සූදානම් වෙයි.

තම ශ්‍රී ලංකා සංචාරය අළලා මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් නිකුත්කළ කෙටුම්පත පිළිබඳ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය හරහා ප්‍රතිචාර දක්වා තිබෙන බවද මානව හිමිකම් කවුන්සල සාමාජික රටවල් අතරේ බෙදදුන් එම කෙටුම්පතේ පිටපත් සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අන්තර්ගතකර නොමැති බවද රජය ප්‍රකාශ කරයි.

අදාළ කෙටුම්පත සාමාජික රටවල් අතරේ බෙදාදීමේදී ඒ සඳහා යොදා ගන්නා කරුණු සේම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අන්තර්ගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවද ඒ සම්බන්ධයෙන් කරුණු විමසන බවද වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර ස්විස්ටර්ල්නතයේ ජිනීවා නුවරදී අද (03) ආරම්භ වන ජගත් මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව මුහුණ දීමට සූදානම් බව රජය අවධාරණය කරයි.

කුමන අභියෝගයක් එල්ල වුවද ඒ සඳහා සාර්ථකව ප්‍රතිචාර දක්වන බවද මේ වෙනුවෙන් ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් රැසක් සහාය ශ්‍රී ලංකාවට හිමිවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙවර ජගත් මානව හිමිකම් කවුන්සලයේ 25 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී අද (03) ආරම්භ වන අතර එහිදී අපේ රටට එල්ලවන ඕනෑම අභියෝගයක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ශක්තිමත් බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මානුෂීය මෙහෙයුම් පැවැති අවසන් සමයේදී සිදුවූ බව පවසන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කිහිපයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර එවැනි අභියෝගයන්ට එරෙහිව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය පළකිරීම සඳහා ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජික මෙන්ම සාමාජික නොවන රටවල් රැසක් දැනටමත් සූදානමින් සිටිති.

ශ්‍රී ලංකාව සහ ඒ ඒ රටවල් අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් වීම සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් එම රටවල් ශ්‍රී ලංකාවට සහාය පළකිරීමට ඉදිරිපත්ව සිටින අතර රුසියාව, චීනය, ඉන්දුනීසියාව, කියුබාව, කුවේටය, මාලදිවයින, සෞදි අරාබියාව, පාකිස්තානය, පිලිපීනය, කොංගෝව, වෙනිසියුලාව සහ වියට්නාමය ඇතුළු රටවල් මෙන්ම කලාපීය වශයෙන් රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහාය දෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මීට පෙරද අවස්ථා දෙකකදී ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනා ඉදිරිපත්කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාව පදනම් කර ගනිමින් මෙවරද ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේගේ වාර්තාව එළඹෙන 26 දා ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර කරුණු 72කින් එම වාර්තාව සමන්විත බව වාර්තා වෙයි.

මෙවර ජගත් මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරය එළඹෙන 28 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන අතර ඒ සඳහා සාමාජික රටවල් 47ක නියෝජිතයෝ සහභාගි වෙති. ඒ අනුව අප්‍රිකානු රටවල් 13ක්, ආසියා පැසිෆික් රටවල් 13ක්, ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් රටවල් 8ක්, බටහිර යුරෝපා සහ වෙනත් රටවල් 7ක් සහ නැඟෙනහිර යුරෝපා රටවල් 6ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකත්වය උසුළයි.

විවිධ අංශ ඔස්සේ ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් ඉදිරියටම ගමන් කරන ශ්‍රී ලංකාවට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් එල්ලවන අභියෝග, බලපෑම් සුළුපටු නොවන බව පෙන්වාදෙන විදේශ කටයුතු අමාත්‍යාංශය විවිධ අවලාද නඟමින් එවැනි බලවේග උත්සාහ කරනුයේ රටේ සංවර්ධන කටයුතු ආපස්සට හරවමින්, යළිත් අඳුරු යුගයක් කරා ඇඳ දැමීමට බවද කියාසිටී.

විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර සමුළුව සඳහා සහභාගි වීමට නියමිත අතර වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති රවිනාථ ආරියසිංහ, නීතිපති පාලිත ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්ම මහත්මීහු ඊට අයත් වෙති.

එක් එක් රටවල මානව හිමිකම් සුරැකිම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ සමුළුවේදී විශේෂ අවධානය යොමු කරන බවද මෙවර සමුළුවේදී ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සූදානම් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙවර සමුළුව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් දැනටමත් ජිනිවා නුවර බලා පිටත්ව ගොස් ඇති අතර විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා එළඹෙන 05 දා සමුළුව ඇමතීමට නියමිතයි. මෙහිදී ප්‍රධාන සැසිවාරයට සමඟාමීව අතුරු සැසිවාර කිහිපයක් ද පැවැත්වෙයි. ආරම්භක සැසියේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්, ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මෙන්ම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සහ කැනඩාවේ විදේශ ඇමැති ජෝන් බෙයාඞ් ප්‍රකාශ සිදුකිරීමට නියමිතව ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා