මුස්ලිම්වරුන් 72000ක් යාපනයෙන් පැන්නීම ඊට ඇතුළත් නොකළේ මන්ද?

ජිනීවාවලින් දමිළ ජාතිකයන් ගැන විමර්ශන ඉල්ලද්දී

මුස්ලිම්වරුන් 72000ක් යාපනයෙන් පැන්නීම ඊට ඇතුළත් නොකළේ මන්ද?

උතුරේ මහ ඇමැතිගෙන් මන්ත්‍රී අස්වර් ප්‍රශ්න කරයි

දමිළ ජාතිකයන්ගේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයා ජිනීවාවලින් ඉල්ලා සිටින අවස්ථාවේදී එල්. ටී. ටී. ඊය මුස්ලිම් ජාතිකයන් 72,000ක් යාපනයෙන් පලවාහැරීම ඇතුළත් නොකළේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර් මහතා නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් මහ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ ශ්‍රී ලංකාවට එදිරිවාදිකම් කරන ජාත්‍යන්තර බලවේග සඳහා ශ්‍රී ලංකා රජයෙන් වරප්‍රසාද ලබමින් කේලාම් කියමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් මේ නිවේදනය නිකුත් කර තිබේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණිදා පටන්, වසර දහස් ගණනක කාලයක් පුරා රටේ ඒකීයභාවය රැකගැනීමට විශාල මෙහෙවරක් ඉටුකර තිබේ.

සීතාවක මායාදුන්න රජු සමයේදී පෘතුගීසීන් පලවා හැරීමට මුස්ලිම්වරුන් දැක්වූ සහයෝගිතාවෙන් ඔවුන් තුළ වූ ජාතිහිතෛෂි බව මැනවින් පිළිබිඹු වේ. මුස්ලිම් ජෙනරාල්වරුන් පෘතුගීසින් පලවාහැරීමට මායාදුන්නේ රජුට ලබාදුන් සහාය අරූසියා නරීකා නැමැති අධ්‍යාත්මික නායකයා විසින් හුවාදක්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජෙනරාල්වරුන් තිදෙනකුට සම්මාන ද පිරිනමා තිබේ.

සිය දිවි පරදුවට තබා සටන් කළ මුස්ලිම් ජාති‍කයන් සිදු කළ සේවාව වත්මන් ජනනායකයාගේ පවා පැසසුමට ලක්වෙනවා. අපගේ මුතුන්මිත්තන් විසින් ඉටු කළ මෙහෙවර ඉන් අනතුරුව ඉදිරියට ගෙන ගියේ, ශ්‍රීමත් මොහොමඩ් මාකන්මාකාර්, ආචාර්ය ටී. බී. ජයා, ආචාර්ය එම්. සී. එම්. කලීල්, ශ්‍රීමත් රසීක් ෆාරිඩ්, බද්යුදීන් මොහොමඩ්, එච්. එස්. ඉස්මායිල්, එම්. එස්. කාරිඅප්පා ආදි ශ්‍රේෂ්ඨ මුස්ලිම් නායකයන් විසිනි. මුස්ලිම්වරුන් සැමවිටම මෙරට වෙනත් ජාතීන් සමඟ සාමයෙන් කල්ගත කළ අතර, ප්‍රචණ්ඩත්වයට යොමුවූයේ නැත. රටේ එක්සත් බව වෙනුවෙන් පෙනී සිටියා විනා‍ බෙදුම්වාදයට මුස්ලිම්වරුන් කිසිදා යොමු වූයේ නැත.

කරුණු මෙසේ හෙයින්, මුස්ලිම් කොංග්‍රසය විසින් දැන් දරන ස්ථාවරය කනගාටුදායකය. රජයෙන් සියලු අනුග්‍රාහ ලබාගන්නා අතර, ඔවුන් ජිනීවාවලට සහ වෙනත් විදේශ පාර්ශ්වවලට කේලම් කීමට පටන්ගෙන තිබේ. ඔවුන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක්.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් දමිළ සාමාන්‍ය ජනතාවට සිදු කළ දරුණු ව්‍යසනය, ළමා සොල්දාදුවන් ලවා හමුදා කඳවුරුවලට පහරගැසීම වැනි ම්ලේච්ඡ ක්‍රියා ගැන අවධානය යොමු කිරීම වෙනුවට, ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජයට එරෙහිව ක්‍රියා කිරීම අරඹා තිබේ. මුස්ලිම්වරුන්ට සෑමවිටම තමන්ගේ ප්‍රශ්න දේශීය වශයෙන් විසඳා ගැනීමට හැකියාවක් සහ ශක්තියක් තිබිණි. ඒ අතර මුස්ලිම්වරුන් බහුතර සිංහල ජනතාවගේ ආදරයට ද පාත්‍රවිය. එල්. ටී. ටී. ඊ. ය මෙන් ස්වකීය ගැටලු ජාත්‍යන්තරකරණය නොකිරීමට මුස්ලිම් කොංග්‍රසය වගබලා ගත යුතුය. තම ගැටලුවලට දේශීය වශයෙන් පිළියම් සොයා ගැනීමට එම සංවිධානය යොමු විය යුතුය. නිදහස් සටනේදී ටී. බී. ජයා කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව සහාය ලබාදුනි. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට මුස්ලිම් ජාතිකයන් හුරුවී සිටී.

එල්. ටී. ටී. ඊ. ය සහ ටී. එන්. ඒ. පක්ෂය විසින් සිය ගැටලු ජාත්‍යන්තරකරණය කිරීම හේතුවෙන් විදේශයන්හි ඩයස්පෝරාවක් බිහිවී තිබේ. ඒ හේතුවෙන් දමිළ ජාතින් අතර විශාල බෙදීම් ඇතිවී තිබේ. දිගු කාලීන වශයෙන් සලකන කළ ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වී යාමට ද මෙය හේතු වනු ඇත.

දමිළ ජාතිකයන්ගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් ජිනීවාවලින් ඉල්ලා සිටින අවස්ථාවේදී, මුස්ලිම් ජාතිකයන් 72,000ක් එල්. ටී. ටී. ඊ. ය විසින් යාපනයෙන් පලවාහැරීම ඇතුළත් කිරීමට අපොහොසත් වී ඇත. එමෙන්ම, කාතන්කුඩියේදී මුස්ලිම් ජාතිකයන් සමූහ ඝාතනයට ලක්කිරීම, අරන්තලාවේ සහ කැබිතිගොල්ලෑවේ සිංහල ජාතිකයන් සමූහ ඝාතනය කිරීම ආදිය ද ඇතුළත් කර නැත.

විග්නේශ්වරන් මහතාට මෙම කරුණු අමතක වී ඇත්නම්, මෙරට සිංහල සහ මුස්ලිම් ජනතාවට එරෙහිව, එල්. ටී. ටී. ඊ. ය විසින් සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කිරීමට කොමිසමක් පත්කරන ලෙස ජගත් මානව හිමිකම් කවුන්සලයෙන් අපි ඉල්ලා සිටිමු.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා