බුලත් කොළය දිනුවහම හැමෝම දිනුම්

බුලත් කොළය දිනුවහම හැමෝම දිනුම්

නිශාන්ත මුතුහෙට්ටිගම - සුළු අපනයන භෝග ප්‍රවර්ධන නි‍යෝජ්‍ය ඇමැති

l පළාත් සභා ඡන්ද සටනේ දී ආණ්ඩුවට විපක්ෂයෙන් අභියෝගයක් තියෙනවාද?

ප්‍රජාතන්ත්‍රවාදය අනුව රටකට විපක්ෂයක් පැවතිය යුතුයි. ආණ්ඩුව කොයි තරම් වැඩ කළත් හැම දෙනාම සතුටු කරන්න බැහැ. ඒ නිසා විපක්ෂයට ඡන්දයක් ලැබෙනවා. නමුත් බහුතර ජනතාව ඉන්නේ අපිත් එක්ක. ඒක සබරගමු, මධ්‍යම පළාත, වයඹ, නැඟෙනහිර වාගේ හැම තැනකදී ම පැහැදිලි වුණා. ඒ නිසා විපක්ෂයෙන් අපිට කිසිම අභියෝගයක් නැහැ.

l විපක්ෂය කඩා වැටෙන්න හේතුව කුමක්ද?

මම දන්න විදිහට රනිල් මහත්තයා මේ ගැන සොයන්න කමිටු කිහිපයක් ම දැම්මා. ඒ කමිටුවලින් කියපු දේවල් කරන්න ගිහින් තව තවත් අය පක්ෂයෙන් ගියා. යූ.ඇන්.පීය හොයා ගත්ත අලුත්ම විසඳුම තමයි නායකත්ව මණ්ඩලය. ඒකෙනුත් ගොඩ එන පාටක් පේන්න නැහැ. විපක්ෂය අපිට උදව් කරන නිසා අපිත් විපක්ෂයට උදව් කළ යුතුයි. ඒ නිසා මම යෝජනා කරන්නේ විපක්ෂයේ පිරිහීම ගැන හොයන්න විශේෂ කොමිසමක් පත් කළ යුතුයි.

l විපක්ෂය ආණ්ඩුවට උදව් කරන බව ඔබ කිව්වා. ඒ මොන විදිහේ උදව්ද?

ඒ ගොල්ලෝ අපිට සෑහෙන්න උදව් කරනවා. ඡන්දෙ කාලෙට මොන මොන කතා කිව්වත් ඡන්දෙන් පස්සේ ඒවා අමතකයි. ලැබුණු ඡන්ද ටිකත් අරන් ආණ්ඩුවට එන්නේ කොහොමද කියලයි බලන්නේ. ඊයේ ආණ්ඩුවට බැණපු කෙනා අද වෙනකොට ආණ්ඩුව ඇතුළේ. අද බණින කෙනා කොහොම හරි බලන්නේ විපක්ෂයේ තැනක් හදාගෙන ආණ්ඩුවට පනින්නයි. විපක්ෂයේ සංවිධායකයෝ කීදෙනෙක් ආණ්ඩුවට ආවද? දැන් ඉන්න එක්කෙනෙක් ජනාධිපතිතුමා එක්ක රෝමේ ගියා. ඒ නිසා විපක්ෂයට ඡන්දය දුන්නත් ඒක අවසානයේ ආණ්ඩුවට ලැබෙන ඡන්දයක් විත්තිය ජනතාව දන්නවා. ඈතින් ඉඳන් ආණ්ඩුවට උදව් කරනවාට වැඩිය කෙළින් ම සන්ධානයට ඡන්දය දීම හොඳ විත්තිය ඔවුන් දන්නවා.

l විපක්ෂයත් ආණ්ඩුවෙ ම කොටසක් නිසා ඔවුන්ටත් සලකනවද?

යුද්ධය අවසන් කළේ මේ ආණ්ඩුව. රට සංවර්ධනය කළේ මේ ආණ්ඩුව. ඒ ඔක්කොටම වැඩිය මේ ආණ්ඩුවේ විශේෂත්වය වෙන්නේ ඡන්දය දුන්න නොදුන්න හැමෝටම සැලකීමයි.

බලයට පත්වූ හැම ආණ්ඩුවක් ම කළේ පාක්ෂිකයාට සැලකීමයි. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රටට සැලකුවා. පක්ෂ භේද ගැන හිතුවේ නැහැ. සංවර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකා, යු.ඇන්.පී., ජේ.වී.පී. හැමෝම ලබනවා. යුද්ධය අවසන් කිරීම නිසා දැන් හැමෝට ම පක්ෂ භේදයකින් තොරව ජීවත්වීමේ අයිතිය ලැබී තිබෙනවා.

යූ.ඇන්.පී. ආණ්ඩුව කාලේ රැකියා දුන්නේ එජාප පාක්ෂිකයන්ට පමණයි. විදුලිය, ජලය, දුරකථන ගන්න කොට මන්ත්‍රීගේ නිර්දේශය ඉල්ලනවා. දැන් ඕන කෙනෙකුට පක්ෂ භේදයකින් තොරව විදුලිය ගන්න පුළුවන්. එජාප ආණ්ඩුව කාලේ විදුලිය දුන්නේ රටෙන් 40%කට විතරයි. මුළු රටට ම විදුලිය දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. මේක දක්ෂයාට සලකන යුගයක්. උගත්කමට සලකන යුගයක්.

l 94 දී වගේ මෙවර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයත් ආණ්ඩු පෙරළියකට මුල්වෙයිද?

අපි මේ වතාවේ දකුණු පළාත් සභාවේ හයෙන් පහක බලයක් ගන්නවා. පළාත් සභා ඉතිහාසයේ කිසිම පළාත් සභාවක් 5/6ක බලයක් ගත්තේ නැහැ. මෙවර ලබන අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ අපි මෙරට මැතිවරණ ඉතිහාසයත් වෙනස් කරනවා. ඒ නිසා මෙවර මැතිවරණ ප්‍රතිඵලය විස්මයජනක ප්‍රතිඵලයක් කියන දේ ඇත්තයි.

බලයට එන්න ඉඩක් නැති බව විපක්ෂය දන්නවා. සිංහල අවුරුද්දෙන් පස්සේ, වෙසක් පෝයෙන් පස්සේ යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදනවා කියපු තිස්ස අත්තනායකගේ කට දැන් වැහිලා.

පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කයට ආසන 25ක් වෙන් කර තිබෙනවා. පසුගිය වතාවේ එයින් අපිට 17ක් ලැබුණා. යූ.ඇන්.පීයෙන් වැඩියෙන් ම ඡන්ද ගන්න මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමා දැන් ඉන්නේ අපේ පැත්තේ. රත්තරන් මන්ත්‍රීතුමාත් අපේ පැත්තේ. මේ හේතු නිසා අපි ගාල්ලෙන් ආසන 19ක් වත් ගන්නවා. යූ.ඇන්.පිය තරග කරන්නේ ආසන 5ක් දිනා ගන්න. ජේ.වී.පී.යයි ෆොන්සේකාගේ පක්ෂයයි උත්සාහ කරන්නේ එක ආසනයක් දිනා ගන්න. මේ පක්ෂ දෙක යූ.ඇන්.පීයටත් වැඩිය කුජීත වෙලා. ඒ නිසා අපිට තරගයක් නැහැ.

l විපක්ෂයෙන් අභියෝගයක් නැතත් දැනට ගාල්ලට ලැබී තිබෙන මහ ඇමැතිකම මාතර දිස්ත්‍රික්කයට ලබා දිය යුතුය කියලා මතයක් තියෙනවා නේද?

පළාත් සභා ඡන්දෙ කාලෙට මහ ඇමැතිවරු ගොඩයි. නමුත් මහ ඇමැති තනතුරට පුද්ගලයෙක් තේරීමේ දී පළපුරුද්ද හා ජනතා මනාපය ගැන අවධානය යොමු කරනවා.

මොන පැත්තෙන් බැලුවත් හිටපු මහ ඇමැති ෂාන් විජේලාල්ට අභියෝගයක් දෙන්න කෙනෙක් නැහැ. එතුමා දිස්ත්‍රික්ක තුන ම සංවර්ධනය කළා. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඔහු ඉදිරියෙන් ඉන්නවා. ජනතා සේවය වෙනුවෙන් කැපවූ නායකයෙක්. ඒ නිසා ඔහුට මහ ඇමැතිකම ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

ඊළඟට මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියලුදෙනා ම ඇමැතිවරු. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයකට ම ඉන්නේ එක ඇමැතිවරයායි. ඒ නිසා ගාල්ලට මහ ඇමැතිකම ලබාදීම කොයි පැත්තෙන් බැලුවත් සාධාරණයි.

l එක්සත් ජනතා සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ ගැන මම සතුටුයි. මම නිළියන්ට අකමැති නැහැ. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට යා යුත්තේ කාලාන්තරයක් දේශපාලනයේ යෙදුණු අයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවුණත් සන්ධානයෙන් තරග කරන බද්දේගම සමිත හාමුදුරුවන්ට අපේ සහය පළකරනවා. තව මගේ ආසනයෙන් අපේක්ෂකයන් දෙන්නෙක් තරග කරනවා. ඔවුන්ටත් සහය දෙනවා. හිටපු මහ ඇමැතිතුමාටත් සහය දෙනවා.

l මනාප ක්‍රමය යටතේ ඡන්දය දෙන්න පුළුවන් තිදෙනෙක්ට පමණයි. කිහිපදෙනෙක්ටම සහය දැක්වීම තේරුමක් තිබෙනවාද?

ඡන්ද දෙන්න පුළුවන් තුන්දෙනෙක්ට තමයි. ඒ වුණත් හැමෝටම සහය දෙන්න පුළුවන්. මගේ බලාපොරොත්තුව බුලත් කොළය දිනවීමයි. බුලත් කොළය දින්නොත් හැමෝම දිනුම්. ඒ නිසා මගේ උත්සාහය බුලත් කොළය ජයග්‍රහණය කිරීමයි.

l ජිනීවා ඡන්දයෙන් පස්සේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් ආණ්ඩුවට වාසියක් ලැබෙනව නේද?

අපිට ජිනීවා වාසියක් නැහැ. නමුත් ජනාධිපතිතුමාට මුළු රටම සහය දෙන බව පෙන්විය යුතුයි. අපි මෙතෙක් තිබුණ හැම ඡන්දයක්ම ජයගත්තා. මහින්ද රාජක්ෂ ජනාධිපතිතුමා වාර දෙකක් ජනාධිපතිධුරයේ කටයුතු කළා. එතුමා තව වාර දෙකක්වත් ජනාධිපතිධුර‍ෙය් කටයුතු කළ යුතුයි. අපි මෙවර පළාත් සභා ඡන්දයෙන් එතුමාට තව වාර දෙකක් ජනාධිපතිධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය ජනපදනම සකස් කර දෙනවා. ඒ අනුව මේ ආණ්ඩුවෙ දෙවෙනි ඉනිම පටන්ගන්නේ මේ ඡන්දෙත් එක්කයි.

l නායකත්ව මණ්ඩලය පත් කිරීමත් එක්ක එක්සත් ජාතික පක්ෂය අළු ගසා දමා නැඟිටින බවක් පෙනෙන්න තිබෙනවා නේද?

යු.ඇන්.පිය තව අවුරුදු විස්සකටවත් නැඟිටවන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය කියන ඇඟට දැන් ඔළු දහයක් හයි කරලා තියෙන්නේ. එක එක්කෙනා එක එක පැත්තට යන්න දඟලනවා. නමුත් ගමන එතනමයි. අපිට නායකත්ව මණ්ඩල කෑලි නැහැ. නායකයෝ ගොඩක් ඇත්තෙත් නැහැ. ඉන්නේ එකම නායකයයි. ඒ ජනාධිපතිතුමා පමණයි. අපි එතුමා සමඟ ශක්තිමත් ගමනක් යනවා. ඒ මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් හොඳින් ඔප්පු වේවි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා