ගිනි අවි 2ක් සහ අත්බෝම්බයක් සමඟ සැක 4ක් උඩුගමදී අල්ලයි

ගිනි අවි 2ක් සහ අත්බෝම්බයක් සමඟ සැක 4ක් උඩුගමදී අල්ලයි

උඩුගම හෝමදොලවත්ත නිවාස විස්ස ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයන් සිවුදෙනකු පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.

හෝමදොලවත්ත නිවාස විස්ස ප්‍රදේශයේ නිවෙසක් තුළ සැතකකරුවන් සැඟවී සිටින බවට ලැබුණ ඔත්තුවක් මත පොලිසිය නිවෙස වැටලූ අවස්ථාවේ ඒ තුළ සැඟව සිටි පුද්ගලයන් සිවුදෙනා පලායෑමට පටන්ගෙන ඇත.

ඒ සමඟම වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් මහා පරිශ්‍රමයක් දරා සිවුදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.හබරාදුව ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවී ඇතැයි කියන මිනිමැරුම්,

සොරකම්,මංකොල්ලාකෑම් සහ තවත් විවිධ අපරාධ රැසකට එක් සැකකරුවකු සෘජුවම සම්බන්ධ බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.අත්අඩංගුවට ගත් ගිනිඅවි දෙකෙන් එකක් ටී 56 උණ්ඩ දැමිය හැකි ගිනිඅවියක් බවද පොලිසිය පවසයි. පසුගියදා හබරාදුව පිලානේදී විසි හැවිරිදි පුද්ගලයකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකළ අපරාධකරුට පහරදීම සදහා මෙම ගිනිඅවිය ළඟ තබාගෙන සිටි බවද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු පිලානේදී එසේ වෙඩිවැදුණ තුවාලකරුගේ ඥාතියකු බවද වාර්තා වේ.සැකකරුවන් සිවුදෙනාගෙන් එක් සැකකරුවකුගේ ඥාතියෙකුට අයත් හෝමදොලවත්ත නිවාස විස්ස ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටියදී ඔවුන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සැකකරුවන් ගාල්ල ගිංතොට,චීනකොරටුව සහ වංචාවල පදිංචිකරුවන් බවද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

උඩුගම පොලිස් ස්ථානාධිපති අනුරසිරිද සිල්වා,පොලිස් පරික්ෂක ප්‍රභාත් නිෂාන්ත,උප පොලිස් පරික්ෂක සෙනරත්,සැරයන් විජේසිංහ (3199),කොස්තාපල්වරුන් වන රත්නායක (12287),ප්‍රියන්ත(46001), තාරක (13260).පත්මසිරි(3203),අශෝක (15133) සහ වසන්ත (28739) යන මහත්වරුන් මෙම වැටලීම කර තිබුණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා