මසට ගත් කිකිළිගේ බඩේ බිත්තරයක්: මුදලාලි එය හංගලා හරි යුද්ධයක්

මසට ගත් කිකිළිගේ බඩේ බිත්තරයක්: මුදලාලි එය හංගලා හරි යුද්ධයක්

කුකුළු මස් වෙළෙඳසල් හිමියකු සහ මස් මිලදී ගැනීමට කඩයට ගොඩවූ පාරිභෝගිකයකු අතරේ බිත්තරයකට ඇතිවු බහින්බස්වීමක් දුර දිග ගොස් එක් අයකු පහරදීමකට ගොදුරුව රෝහල්ගත වූ සිද්ධියක් උතුරු කොළඹින් වාර්තා වේ‍.

දැන ගන්නට ලැබුණු අන්දමට සිද්ධිය මෙසේය.

තම දියණියගේ උපන් දින සාදය වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට කුකුළු මස් ගෙනෙන්නැයි බිරිය කියා ඇත. කුකුළු මස් කඩයට ගොඩ වී තරබාරු කිකිළියකු තෝරා ගත් එම තැනැත්තා එය කිරා බලා නියමිත මුදල මස් කඩ හිමියාට ගෙවීය. ඉන් අනතුරුව එය සුද්ධ කර අනවශ්‍ය කොටස් ඉවත් කර දෙන ලෙස මුදලාලිගෙන් ඉල්ලා සිටියේය. ඉල්ලීම පරිදි කඩ හිමියා ද එය සුද්ධ ක‍ෙළ්ය.‍

කිකිළියගේ උදරයේ බිත්තරයක් තිබූ අතර කඩ හිමියා එය පසෙක තබා මස් ටික පමණක් කෑලිවලට කපා පාරිභෝගිකයාගේ අතට දුන්නේය. ප්‍රශ්නය ඇතිවූයේ මෙතැනදීය. කිකිළියට නියමිත සම්පූර්ණ මුදල තමා ගෙවා තිබූ නිසා බිත්තරයද තමාට අයත් බව එම තැනැත්තා කඩ හිමියාට කීය. එය නොගත් කඩ හිමියා , “බිත්තර දැන් හරි ගණන්” යැයි පවසා එය දීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු මේ ගැන දෙදෙනා අතරේ ඇති වූ බහින් බස්වීමට තවත් කිහිප දෙනකුද හවුල් වූහ.ක්ෂණයකින් මේ ආරවුල ගුටි බැට හුවමාරුවකට පෙරළී එක් අයකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා