නොබෙදූ රටක එකම ජාතියක් ලෙස අපි එක්වෙමු

නොබෙදූ රටක එකම ජාතියක් ලෙස අපි එක්වෙමු

-ජනපති

රුදුරු ත‍්‍රස්තවාදීන්ගේ බන්ධනයෙහි පසුවන උතුරේ අහිංසක ජනයා නිදහස් කරගෙන ඔවුන්ට සමානත්වය හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සියලු අයිතිවාසිකම් ලබාදෙන බවට 61 වැනි නිදහස් දිනයදා ප‍්‍රතිඥා දෙන්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අප රට ඉතිහාසයේ මේ වැදගත් මොහොතේ අප ජාතියේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය පුරා එහි පදනම වූ ඉවසීම, විශ්වාසය හා අවබෝධය විදහා පාමින් නොබෙදූ රටක එකම ජාතියක් වශයෙන් එක්සත් වන ලෙස රටේ සියලු ජන කොටස්වලින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරයි.

61 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ කිසිවෙකු තවදුරටත් ද්වේශයේ හා අවිශ්වාසයේ විෂබීජ නොවපුරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ශී‍්‍ර ලංකාවේ 61 වැනි ජාතික දිනය උත්සවාකාරයෙන් සමරන අවස්ථාවේ ඒ වෙනුවෙන් මා මේ පණිවුඩය එවන්නේ අතිශය අභිමානවත් හැඟීමෙන් යුතුවයි.

මේ අභිමානය ඇති වන්නේ ත‍්‍රස්තවාදයේ ග‍්‍රහණයෙන් අපේ මවුබිම මුදා ගැනීමට තීරණාත්මක මානුෂීය මෙහෙයුමක් දියත් කළදා සිට අපේ නිදහස ශක්තිමත් කිරීම සඳහා පසුගිය මාස කිහිපයේ අත්කර ගන්නා ලද බොහෝ ජයග‍්‍රහණ හේතුවෙන් යැයිද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

2006 අගෝස්තු මාසයේ මාවිල්ආරු ප‍්‍රදේශයෙන් ත‍්‍රස්තවාදීන් සාර්ථකව පලවා හැරීමෙන් අපේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයේ රණවිරුවන් ලත් ජයග‍්‍රහණයෙන් ආරම්භ වී මුළු නැෙඟනහිර පළාතම නිදහස් කර ගැනීමෙන් පසු උතුරේ යාපනය අර්ධද්වීපය ඇතුළු අපේ භූමියෙහි පාලනය සම්පූර්ණම වාගේ යළි අප අතට ගැනීමට දැන් අපි සමත් වී සිටිමු” යැයිද ජනාධිපතිවරයා කියයි.

කළක් අනභිභවනීය ලෙස සලකන ලද ත‍්‍රස්ත බලකොටු එකිනෙක බිඳ වැටී අප මවුබිමෙන් ත‍්‍රස්තවාදය සදහටම තුරන් කිරීමේ හා අපේ සමස්ත ජනතාවට නිදහස උදාකර දීමේ මොහොතකට අපි ඉතා සමීප වී සිටිමු’ යැයිද පවසයි.

1948 ලබාගත් ස්වාධීනත්වයෙන් ඔබ්බට ගොස් මේ 61 වැනි ජාතික දින සංවත්සරයේදී වඩා වටිනා හා අර්ථවත් නිදහසක් සහතික කිරීම පිණිස අපේ වීරෝදාර හමුදා විසින් කර ඇති කැපවීම් ඔවුන්ගේ චිත්ත ධෛර්යය හා අධිෂ්ඨානය වෙනුවෙන් මගේ සහ මුළු මහත් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ නොමසුරු ප‍්‍රශංසාව පිරිනැමීමට මම මේ අවස්ථාව උපයෝගී කොට ගනිමි’’ යැයි ද සඳහන් කරයි.

අපගේ වීරෝදාර හමුදාවන්ට උචිතාකාරයෙන් උපහාර පිරිනමන මේ මොහොතේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අප කළ මෙහෙයුම් කළක් විවේචනය කළ බොහෝ දෙනා දැන් ශී‍්‍ර ලංකාව සහ අපේ හමුදාවල සාර්ථකත්වය ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ හොඳ උදාහරණයක් වශයෙන් උපුටා දැක්වීම අපේ තෘප්තියට කරුණක් බවත් දක්වා තිබේ.

වසර 500 කට අධික කාලයක් පුරා පැවති යටත් විජිත ආධිපත්‍යයෙන් සහ සූරා කෑමෙන් නිදහස්වීම සඳහා අරගල මෙහෙයවමින් බොහෝ කැපවීම් කළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ අපේ රටේ අනෙකුත් ජන කොටස් හා ආගම්වලට අයත් ශී‍්‍ර ලාංකිකයින් ගෞරවයෙන් සිහිපත් කිරීමට ද මෙය සුදුසු අවස්ථාව බවත් අදට ඉතිරිව ඇති නියමිත පෙදෙසක කොටු වී සිටින ත‍්‍රස්තවාදී කුඩා කණ්ඩායම්වලට එරෙහිව සටන් කරන්නේ අපේ මුතුන් මිත්තන් මෙන් නිදහස වෙනුවෙන් මෙම ශ්‍රේෂ්ඨ සටන ඉදිරියට ගෙන යන බවත් රාජපක්ෂ මහතා සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි.

සියලුම ශී‍්‍ර ලාංකිකයින්ගේ සාමයේ අපේක්ෂා ඉටු වී සැමට පූර්ණ සාමය උදාවේවා” යි මම ප‍්‍රර්ථනා කරමි.

අපේ මවුබිම ප‍්‍රජාතන්ත‍්‍රවාදය බබළන යුගයකට හා බියෙන් තොර අනාගත නව ලංකාවක් කරා ගෙන යාම සඳහා අපි එක්වෙමු” යැයිද මහින්ද රාජපක්ෂ මහතා තම පණිවුඩයෙන් ආරාධනා කර සිටියි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා