රාජ්‍ය බුද්ධි සේවාව සමච්චලයට . .  .

රාජ්‍ය බුද්ධි සේවාව සමච්චලයට
ලක් කිරීමට එජාපය කටයුතු කරනවා

- ඇමැති ඩලස් අලහප්පෙරුම

වීරෝදාර රණවිරුවන් දැවැන්ත යුද ජයග‍්‍රහණ ලබමින් සිටියදී රාජ්‍ය බුද්ධි සේවාව සමච්චලයට ලක් කිරීමට එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කටයුතු කරන බව ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

වීරෝදාර රණවිරුවන් විසින් පසුගියදා සොයා ගන්නා ලද එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු සබ්මැරිනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය විවිධ අදහස් දක්වා ඇති අතර ඒ මඟින් රාජ්‍ය බුද්ධි අංශය සමච්චලයට ලක් කිරීමට උත්සාහ දරා ඇති බවත් අලහප්පෙරුම මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, මාධ්‍ය ප‍්‍රකාශක වැන්නවුන් බුද්ධි අංශ සමච්චලයට ලක්කරන ආකාරයේ ප‍්‍රකාශ සිදුකර ඇති අතර මිලේනියම් සිටි ඝාතන සිද්ධියේ සිටම එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය බුද්ධි අංශය විනාශ කිරීමට කටයුතු කළ බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අලහප්පෙරුම මහතා සඳහන් කළේ ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ සබ්මැරිනයට අවශ්‍ය සියලු කොටස්, උපකරණ තාක්ෂණික අංගෝපාංග මිලදී ගෙන ඇත්තේ යුරෝපා රටවලින් බවයි. සාම සාකච්ඡා සඳහා ගිය තමිල් සෙල්වම් මේ උපකරණ කොටස් ගෙනවිත් ඇති බවට ආරක්ෂක අංශ මඟින් තහවුරු කරගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

ලොව පුරා පවතින ත‍්‍රස්ත සංවිධානවලට අමතරව ප‍්‍රබල ත‍්‍රස්ත සංවිධාන දහයක් වැනි සංඛ්‍යාවක් පැවැතියද ගුවන්යානා සබ්මැරීන ආදී සියල්ලම සතු එකම සංවිධානය එල්.ටී.ටී.ඊ. සංවිධානය බවත් හෙතෙම කීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය එවැනි තාක්ෂණික මෙවලම්වලින් දැවැන්ත ලෙස පෝෂණය වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් අස්සන් කරන ලද සටන් විරාම ගිවිසුම් කාලසීමාවේ බව අමතක නොකළ යුතු බවත් හෙතෙම පැවැසීය.

විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින්, රූපවාහිනී මාධ්‍යය පවා නිරාවරණය කරමින් සමස්ත බුද්ධි අංශ නිලධාරින්ම ඝාතනය කර දැමීමට අවශ්‍ය ඉඩ ප‍්‍රස්ථාව කොටි සංවිධානයට ලබාදුන් එක්සත් ජාතික පක්ෂයට බුද්ධි අංශ ගැන කතා කිරීමටවත් අයිතියක් නොමැති බවද ඇමැතිවරයා කීය.

වීරෝදාර හමුදාවන් දිනෙන් දින අත්පත් කර ගන්නා ජයග‍්‍රහණ දෙස බලා සිටීමට නොහැකි එජාපය මෙවැනි ආකාරයේ ප‍්‍රකාශ සිදුකරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා