උතුරේ ජනතාවට නිදහසේ අරුණලු උදාවේවා!

උතුරේ ජනතාවට නිදහසේ අරුණලු උදාවේවා!

- අගමැති

යටත් විජිතවාදී ග‍්‍රහණයෙන් මිදීම සඳහා එදා ලේ කඳුළු දහදිය හෙළු අප මුතුන් මිත්තන් ගමන් කළ මඟ යමින් අද අපගේ වීරෝදාර රණවිරුවන් ත‍්‍රස්තවාදී බළකොටු පීරමින් උතුරේ ජනතාවට නිදහසේ අරුණළු උදා කිරීමට වෙහෙසෙන්නේ යැයි අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පවසයි.

අද දවසේ වගකීම ද ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් සහමුලින්ම තුරන් කිරීමයි. ත‍්‍රස්තවාදය පළවා හැර පොදු ජනතාව අපේක්ෂා කරන යහපත් ලෝකය උදා කර දීමට කැප වන බවට 61 වැනි ජාතික නිදහස් දිනයේ දී සපථ වන්නේ යැයිද වික‍්‍රමනායක මහතා සිය නිදහස් පණිවුඩයෙන් පවසයි.

ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ නිදහස පිළිබඳ තවත් තීරණාත්මක සන්ධිස්ථානයකදී ජාතික නිදහස් දින උළෙල සැමරීමට අප එක්ව සිටිමු.

අපේ වීරෝදාර රණවිරුවන් ත‍්‍රස්තවාදය තුරන් කිරීමෙහිලා සටන් වඳින අතර ඔවුන් ලබන සෑම ජයග‍්‍රහණයකම අරුත නිදහස් නිවහල් ශී‍්‍ර ලංකාවකි ! යැයිද වික‍්‍රමනායක මහතා අවධාරණය කරයි.

රණවිරු ජයග‍්‍රහණ පිළිබඳ මහා උද්යෝගයත් ජනතා ආශිර්වාදයත් මැද අපගේ දේශය සුරකින රණවිරුවන් සිය අරමුණ මුදුන්පත් කර ගැනීමේ කූටප‍්‍රාප්තිය වෙත ළඟා වී තිබේ යැයිද පවසයි.

එහෙත් එදා මෙන්ම අදත් මඟ අවුරාලීම් පාවාදීම් සහ කුමන්ත‍්‍රණ සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන අගමැතිවරයා ඇතැම් කණ්ඩායම්වල අරමුණ දේශයේ නිදහස හෝ ජනතා පරමාධිපත්‍ය නොවන බව පොදු ජනතාවට පසක් වී අවසන් බවද සඳහන් කරයි. ජනතාව පොදු හැඟීමෙන් යුතුව එම බලවේග ප‍්‍රතික්ෂේප කර තිබේ.

රජයක් ලෙස අපද පොදු ජනතාව විසින් ලබාදෙන පිටුබලය සමඟ පෙරමුණු කිහිපයක සටන් කරමින් ජාතික අවශ්‍යතාව ඉටුකිරීමට අදිටන් කර සිටින්නෙමු යැයිද සඳහන් කරයි.

ඒ සඳහා අවැසි පියවර අනුගමනය කර රණවිරුවන්ගේ අධිෂ්ඨානයට ශක්තියක් වන්නෙමු යැයිද අගමැතිවරයා සිය පණිවුඩයෙන් ප‍්‍රතිඥා දෙයි.

රටක ස්ථාවරභාවයට සමාජ ආර්ථික හා දේශපාලන නිදහස අවැසිය. රුදුරු ත‍්‍රස්තවාදය විසින් නිර්මාණය කළ අදුරු වටාපිටාවකදී එම පරමාදර්ශයන්ට ඛ්ානි සිදුවෙන බව නොරහසකි.

එදා මෙදා තුර රට රැක ගැනීමේ සටනට එක්ව දේශයේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලු දේශපෙ‍්‍ර්මීන්ට උත්තමාචාරය පුදකරන බවද වික‍්‍රමනායක මහතා ප‍්‍රකාශ කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා