මාර්ගවල අයිතිය සොයන්නේ නැතිව නංවන්න ජනපතිගෙන් උපදෙස්

මාර්ගවල අයිතිය සොයන්නේ නැතිව නංවන්න ජනපතිගෙන් උපදෙස්

- ඇමැති ටී. බී. ඒකනායක

අසේල කුරුළුවංශ නිහාල් ජයවර්ධන

රටක් සංවර්ධනය සඳහා යන ගමනේදී එහි කි‍්‍රයාමාර්ග පද්ධතිය හොඳ මට්ටමක පැවතීම අත්‍යවශ්‍යයි. මාර්ගවල හිමිකාරත්වය මධ්‍යම රජයේද, පළාත් සභාවේද පළාත් පාලන ආයතනයේද කියා වර්ග නොකර මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු වේගවත්ව සිදුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇතැයි මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති ටී. බී. ඒකනායක මහතා පැවැසීය.

මහනුවර මහ නගර සභාවට අයත් දෙවැනි රාජසිංහ මාවත හා ශී‍්‍රමත් කුඩා රත්වත්තේ මාවත මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යංශය මඟින් රුපියල් ලක්ෂ 1520 ක වියදමින් අලුත්වැඩියාකර කාපට් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මෙසේද කීය.

මේ පාරවල් අමාත්‍යංශයට අයිති නැහැ. ඒත් අයිතිකාරයෝ හොය හොයා හිටියොත් පාරවල් ටික විනාශ වෙනකල්ම වැඩක් කරන්න වෙන්නේ නැහැ. මේ පිළිබඳ ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමුකර පාරවල් අයිති කාටද යන්න නොසොයා හැමෝම එකතුවී අබලන් වීඇති පාරවල් ටික ප‍්‍රතිසංස්කරණය කිරීමට උපදෙස් දුන්නා. නගර සභාව එජාපය යටතේ පැවතියත් එය අපට අදාළ නැහැ. මහනුවර නගරය සංවර්ධනය කරා යන ගමනට මාර්ග පද්ධතිය හොඳින් පැවතීම අත්‍යවශ්‍ය යි. ඒ සඳහා අපි පක්ෂ භේදයෙන් තොරව කටයුතු කරනවා.

ජනපති නායකත්වය යටතේ උතුරේ මෙහෙයුම් සාර්ථක ව සිදුකෙරෙමින් පවතිනවා. දැන් සිටම එහි මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීම අරඹන ලෙස ජනපතිතුමන් උපදෙස් දුන්නා.

බෝම්බ වලින් නැගුණු දුමාරය මැකී යන්නටත් පෙර මේ ආකාරයෙන් යුද්ධය පැවැති ප‍්‍රදේශවල සංවර්ධනය ඇරඹූ ලෝකයේ එකම රටක්වත් නැහැ.

මහනුවර යාපනය ඒ - 09 මාර්ගය කිලෝමීටර 3200 දුරකින් යුක්තයි. එහි කිලෝමීටර 120 ක දුරක් මහමාර්ග අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ හමුදා යාන්ති‍්‍රක ඉංජිනේරු අංශය මගින් මේ වන විට අලුත්වැඩියා කරනවා. ඒ - 32 මාර්ගයේද කිලෝමීටර 110 ක් ප‍්‍රතිසංස්කරණය කරනවා. සිලාවතුර මුරුක්කන් මාර්ගය කෝටි 100 ක මුදලකින් අලුත්වැඩියා කරනවා. මඩු වන්දනාවේ යන බැතිමතුන්ට එමගින් විශාල පහසුවක් සලසෙනවා.

ත‍්‍රස්තවාදය පරාජය කරමින් පෙබරවාරි මාසය අවසන්වන විට මහනුවර දළදා මැදුරේ සිට යාපනයේ නාග විහාරය දක්වා බියෙන් හා සැකයෙන් තොරව යා හැකියි.

කොළඹ ජාතික නිදහස් උත්සවය පැවැත්වෙද්දී අපේම රටේ සමහර පළාත්වල ජාතික ධජය ඔසවා නිදහස් උළෙල සමරන්න බැරිවුණා. අද එය වෙනස් වෙලා. මෙවර රටේ හැමෝටම එකම මොහොතක සෑම පළාතකම ජාතික කොඩිය ඔසවා නිදහසත් සමඟ අපට සාමයත් සැමරිය හැකියි.

විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා - යුද්ධය සඳහා අතිවිශාල මුදලක් වැයකරන්නට තිබියදී තමයි ආණ්ඩුව සංවර්ධන කටයුතුත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නේ.

අපේ ආණ්ඩුව වැඩකරනවා පේන්නේ නැහැ. හේතුව සංවර්ධන කටයුතු පටන් ගන්නකොටත් අවසන්කර විවෘත කරනකොටත් වැඩි ප‍්‍රචාරයක් නොකිරීම. මේ නිසා ආණ්ඩුවේ වැඩවලින් වෙනත් අයත් ලකුණු දාගන්නවා. මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමේදී ජනතා සහාය අත්‍යවශ්‍යයි. බොහෝ අය තමන්ගේ ඉඩමෙන් අගලක් දෙන්න කැමැති නැහැ. මේ පාරවල් හදන්නේ ඔබලා වෙනුවෙන්. එහිදී ඔබත් යම් දායකත්වයක් ඊට ලබාදිය යුතුයි.

මහනුවර පුරපති එල්. බී. අළුවිහාරේ විපක්‍ෂ නායක හා මධ්‍යම පළාත් සභා සන්ධාන අපේක්ෂක තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, නාගරික මන්තී‍්‍රවරුන් වන සරත් විජේසිංහ, අනුර කුලතුංග, චන්දන සිරිමල්වත්ත, ඉලාහි ආබ්දින්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ ආර්. එම්. කේ. බී. රණතුංග මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා